මේ සටහන විමල් වීරවංස හෝ ලසන්ත වික්‍රමතුංග හැදෑරීමට නොවේ. වීරවංස සහ වික්‍රමතුංග උදව් කරගෙන අනෙක් අය හැදෑරීමටය.
මට අනුව නම් වීරවංසත් වික්රමතුංගත් දෙදෙනාගේ භාවිතය අතර ලොකු හරයාත්මක වෙනසක් නැත.
- දෙදෙනාම එක් එක් කලට තමා සිටි දේශපාලන පිලේ ඉහලට කඩේ ගියහු වෙති. වීරවංස ජවිපෙන් පටන් ගෙන මහින්ද පිලට එකතු විය. වික්‍රමතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පටන් ගෙන රනිල් පිලට එකතු විය.
- දෙදෙනාම කාවදින ලෙස අදහස් පල කිරීමෙහි අති දක්ෂයෝ වෙති. දෙදෙනාම මෙම දක්ෂ කම තමා නියෝජනය කරන පිලේ වාසියට භාවිතා කළහ.
- දෙදෙනාම ජීවිතයේ යම් යම් අවස්ථා වල පුවත් පත් කලාවේදීහු වූහ. දෙදෙනාම තම නියෝජනය කළ දේශපාලනයට කඩේ යාමෙන් තොර ඊනියා මාධ්‍යවේදයක් දැන සිටියේ නැත.
- වීරවංස තම දේශපාලනය වෙනුවෙන් 89 දී ජීවිතය පරදුවට තබා නොනැසී ඉතුරු විය. වික්‍රමතුංග තම දේශපාලනය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා මිය ගියේය.
- දෙදෙනාම තමන් නියෝජනය කරන පිලට ලජ්ජා විරහිතව, සාධාරනය අසාධාරනය, ඇත්ත නැත්ත නොබලා කඩේ ගියහ.
- වීරවංස සිංහලෙන් කුනු රස බෙදන අතර වික්‍රමතුංග ඉංගිරිසියෙන් එයම කළේය.
- වීරවංස කඩේ යාමෙන් පෙරමුණු ආණ්ඩුවෙන් පුද්ගලික වාසි බලාපොරොත්තු විය. වික්‍රමතුංග කඩේ යාමෙන් එජාප ආණ්ඩුවෙන් පුද්ගලික වාසි බලාපොරොත්තු විය.
නමුත් මේ රටේ ඊනියා උගත්තු සහ ඊනියා සුද්දවන්ත බ්ලොග් කරුවන් වීරවංසට එක විදියකටත්, වික්රමතුංගට තව විදියකටත් සලකති. බොහෝ දෙනෙකුට අනුව වීරවංස පක්කලියෙකි. නමුත් එයම ඉංගිරිසියෙන් කරන වික්‍රමතුංග, “වැරදි තිබුනත්” නිර්භය නිදහස් මාධ්‍යවේදියෙකි.
ජීවිතයට කොතරම් තර්ජන තිබුනත්, වික්‍රමතුංග ගෙ නිර්භීත කම තනිකරම හිතේ දිරිය නිසා ඇති වූවක් නොවන බවද පෙනේ. ජීවිත තර්ජන උග්‍ර වූ අවස්ථාවක තමා සමගම විදේශ ගතවීමට සූදානම්ව සිට, රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික වගකීමක් පිට වික්‍රමතුංග ලංකාවේ නැවතුනු බව වික්‍රමතුංග ගේ පුද්ගලික මිතුරකු වූ වික්ටර් අයිවන් කීවේ මට මතක හැටියත වික්‍රමතුංග මිය යාමට බොහෝ කලකට පෙරය. වික්‍රමතුංග බොහො කලක් ලඟින් දැන සිටි ඩී බී එස් ජෙයරාජ් මෙසේ කියයි:
There was also another source of inner strength for this courage. Very few know about the “spiritual” side of Lasantha. Most people think of him as a hard-headed , cynically rational person. But there was a metaphysical aspect to him.
I was surprised when he told me face to face in Canada, “Dont worry machang. Nothing will happen to me because there is a divine power watching over me. That’s my protection”.
මෙහෙම බලන විට මේ නිර්භීත කම මරනය පෙනි පෙනී ඇති කර ගත්තක් නොව තමා මරනයෙන් ආරක්ෂිත බවට තිබූ මිත්‍යා මතද නිසා ඇති වූවකි. එහෙයින් වීරවංසගේ 89 නිර්භීත කමත් මේ නිර්භීත කමත් සැසඳීමේදී තුලාව වික්රමතුංගට බරවීමට හේතු මට නම් පෙනෙන්නේ නැත. එජාපය බලයට ආවා නම් එදා සිට මරණයට නැවත බිය වීමට සිදු වනුයේ වීරවංසට මිස වික්රමතුංගට නොවේ.
වික්‍රමතුංග නිසැකයෙන්ම, (ශ්‍රීලනිපයෙන් චන්දය ඉල්ලා පැරදීමත් ඇතුලුව) පත්තර කලාව තම අවිය කොට ගත් දේශපාලුවෙකි; ඔහු රනිල් වික්‍රමසිංහ බලයට පත් කරන්නට තැත් කරන්නේ පුද්ගලික වාසි සඳහා මිස ඊනියා ප්‍රතිපත්ති වෙනුවෙන් නොවේ. (රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවකින් ඔහු ඇමති කමක් බලාපොරොත්තු වුනු බව පවසන්නේ ඔහුගේම හිටපු දේශපාලන සහ පුද්ගලික මිතුරන් ය.) එහෙමත් තිබියදී ඊනියා අදීන උගත් බ්ලොග් කරුවන් වීරවංසටත් වික්රමතුංගටත් සලකන්නේ කෙසේද?
සදාචාරයේ, තාර්කිකත්වයේ, සංගතික බවේ රාමු වලිනුත් පිට පැන රනිල්ට කඩේ යන ඇතැමෙක් විවාද වලින් වීරවංස ඇන ගනී යයි අනාගත වාක්‍ය පල කරන්නේ විවාදය වීමටත් පෙරය. එයට උත්තර බඳින අයද “වීරවංසට ඉංග්‍රීසි බැරි නිසා පොෂ් දයාසිරි එක්ක විවාදයට ඉංග්‍රීසි පුලුවන් රාජිත එක්කන් ආ බවට” උදම් අනති. ඉතින් මොකෝ? විවාදය සිදු වූයේ ඉංග්‍රීසි දැනුම ගැන නොවේ — ෆොන්සේකා ගේ ආයුද ගණු දෙණු චෝදනා ගැන ය. ඉංග්‍රීසි බැරිවීම ලංකාවේ දේශපාලනයට නොසුදුසු කමක් ලෙස සිතීමෙන් ම මේ කමෙන්ටු කරුවන් ගේ හීන මානය හෙලි දරව් වේ.
මහින්ද කළ හොඳ වැඩත්, එජාප පාලනයේ නරක වැඩත් තීරනාත්මක මොහොතේ දී ටැබූ සබ්ජෙක්ට්ස් බවට පත් කරගෙන ඇති ඊනියා විශ්ව විද්‍යාල උගතුන් ගේ තත්ත්වය මීටත් වඩා නින්දනීය ය.
ඔහු වික්‍රමතුංග ගැන විචාරය පළ කරන්නේ වික්‍රමතුංග ගේ වැරදි ගැන කිසිම විශේෂ හැඟීමක් නොමැතිව, ඔහේ වාර්තා කරන්නාක් මෙනි. සුසන්තිකා ජයසිංහ සමග සාකච්චාවේදී වික්‍රමතුංග අනුගමනය කළ අන්තිම අසම්මත, අසංස්කෘත, ජඩ විලාශය ගැන කතා කරන්නේ නිකන්ම ඇකඩමික් විග්‍රහයක් කරන ආකාරයටය; ලසන්ත ගේ ඊනියා නිර්භය බව පිටුපස එජාප ආණ්ඩුවකින් ඇමති කමක් ගැනීමේ කෑදර කමද තිබුනු බවට මිතුරන් ම කියන කතා ගැන සඳහනක් හෝ නොමැතිවය. පන්තියකට තියන බය! (මෙය බය හෝ දීන කම මිස ඇල්ම යයි නොකියන්නේ මේ ඊනියා ප්‍රබුද්ධයන් බොහෝවිට වීරවංසගේ සමාජ තලයෙන් මිස වික්‍රමතුංග ගේ සමාජ තලයෙන් එන්නන් නොවන බැවිනි.)
මේ ඇකඩමික් අබද්ධය (detachment) වීරවංස ගැන කතා කරන විට තිබිණි ද?
වීරවංසගේ ගසා කෑම් ගැන කතා කරන මේ බ්ලොග් කරුවා ම වීරවංසට යෝජනා කරන්නේ දේශපාලනයෙන් සල්ලි හොයනවාට වඩා තම අඹුව ගණිකා වෘත්තියේ යොදවන ලෙසය. (මතක හැටියට නම් එක එක ලිංගික ඉරියව් වලින් ශෂී වීරවංසට වෙන වෙනම සෙවිය හැකි මුදල් ගැනද විස්තර මුලදී ඇතුලත්ව තිබූ මුත් පසුව කතෲටම ඇති වූ හිරිකිත නිසා හෝ කවදා හෝ පටි රෝල් විය හැකි බව පෙනුනු නිසා මේ කොටස නම් අස්කරන ලදී). මෙවැනි දේ ලියන විට, මිනිහා ගේ හොරකම් වලට අහක ඉන්න ගෑනියකගේ ලිංගිකත්වයට පහර ගැසිය යුතු නැති බව වත් මේ උගතුන්ට වත් මේ උගතාගේ බුද්ධි ප්‍රභාව ගැන හුරේ දමන ඊනියා ප්රබුද්ධ නඩයට වත් පෙනෙන්නේ නැත. (ශෂී වීරවංස යනු විසාකා මහෝපාසිකාව යයි මෙයින් අදහස් නොවේ). දේශපාලන විචාර වලට ගෑනුන්ගේ වේස කම් ඇද ගැනීම තමා ප්රබුද්ධ යයි සිතා ගෙන එක්තරා පංතියකටම කඩේ යන උදවියට නම් මහ පොර කමක් විය හැක. (එහෙම ලියන මේ බ්ලොග් කරුවා ම, සරසවි සිසුවියක විසින් පන්ති සාමාර්තයක් හෝ රස්සාවක් හෝ නිකන්ම මුදල් හෝ වැනි වාසියක් පතා තම ලිංගිකත්වය කැමැත්තෙන් අලෙවි කිරීම ගැන ලියන්නේ මහා ස්ත්‍රීවාදී මානව හිතවාදයකිනි). ශෂී වීරවංසගේ පියයුරු වල තරමින් ගන්න උදාහරන සොනාලි ගේ ඒවා ගැන මතක් වන්නේ නැත.
ඉතින් එවැන්නන් ලසන්ත විසින් චන්ද්‍රිකා ගැන දේශපාලන නොවන මඩ දේශපාලන ලිපි මෙන් ලීමත්, ඒවා කියවන niche එකක් තමා සිරා දේශපාලනයක් කියවන්නේ යයි සිතමින් පොෂ් කුණු රස විඳීමත් ගැන මෙවැනි මඩ රහිත පිරිසිදු ඇකඩමික් විග්රහ කරන්නේ, තමා වීරවංස ගැන කරන්නේත් ලසන්ත චන්ද්‍රිකා ගැන කළ දෙය බව හිත යටින් මෙන් දන්න නිසා විය යුතු ය.

good post
hypocrisy of these cocooned bloggers can be nauseating
good