ෆ්‍රොයිඩ් ට අනුව, සමහර විට මිනිස්සු තමාට පිලි ගැනීමට තිත්ත ඇත්ත, මොන තරම් සාධක ඇතිව වුවත් ප්‍රතික්ෂේප කරති. මෙය මනෝවිද්‍යාවේ සිංහලෙන් හැඳින්වෙන්නේ කෙසේදැයි මම නොදනිමි. ප්රතික්ෂේපය හෝ පිළිකෙව්ව යන්න වෙනත් ඕනෑම වචනයක් තරමට සුදුසු වනු ඇත.
Denial is a defense mechanism postulated by Sigmund Freud, in which a person is faced with a fact that is too uncomfortable to accept and rejects it instead, insisting that it is not true despite what may be overwhelming evidence.
උදෘතය: විකිපීඩියා
ප්රභාකරන් ගේ මළ සිරුර නන්දිකඩාල් වලදී සොයා ගෙන පුවත් පත් වල පින්තූර පලවූ පසු ඊලාම් වාදීන් කී කතා සිහි ගන්වන අන්දමේ අඳෝනා ආඩපාලි දැන් විපක්ෂ කඳවුරෙන් ඇසෙන්නට පටන් ගෙන ඇත.
මා සිටියේ චන්දය ගැන කීමට ඇති බොහොමයක් දේ බොහොමයක් දෙනා විසින් කියා ඇති නිසා දැන් වෙනත් දෙයක් ගැන කතා කිරීමටයි. නමුත් විපක්ෂ සන්ධානයෙනුත්, එයට ආවඩන නොයෙකුත් ඊනියා බුද්ධිමතුන්ගෙනුත් ඇසෙන ආඩපාලි අඩු වෙනු වෙනුවට වැඩි වෙන සෙයක් දක්නට ඇත. මේ ලිපිය ලීමට ආසන්න හේතුව වන්නේ මිතුරකු අද කී කතාවකි. ඔහු සම්බන්ධ වී සිටි සිප්ලකු කරුණක් සම්බන්ධ පහිණ ගණයකට (mail group) කිසිම අදාලත්වයක් නැති කට කතා සම්බන්ධ ලිපි අලුතක සිට ලැබෙන්නට ඇති බවයි. මෙම ලිපි කට කතාම මිසක අඩු ගණනේ ප්රවෘත්ති වත් නොවීමත්, ලියන්නන්ද මතයක් පළ නොකර ප්‍රශ්නාර්ථයකින් ලියා තිබීමත් පොදු ලක්ෂනයක් බව ඔහු පැවසීය.
මට මතක් වූයේ චන්දය ට පසු දින සවස මටම අත් දකින්නට වුනු සිද්ධියකි. එජාපයට වැඩ කළ මිතුරකු මට චෝදනාත්මක ස්වරයෙන් දුරකතන ඇමතුමක් දී, මැතිවරණ කොමසාරිස් වරයා රජය විසින් නිවාස අඩස්සියේ තබාගෙන ඇති බව කීය. මා ඔහුගෙන් ඒ බව විස්වාස කිරීමට කුමක් හෝ කරුණක් ඇති දැයි විමසූ විට ඔහු කීවේ “ඇයි එහෙනම් කොමසාරිස් ටීවී එකට එන්නෙ නැත්තෙ?” කියායි! චන්ද ගැනීම කිරීමවත් තවම අවසන් නැති බවත්, චන්ද ගැනීම කර අවසන් වන තුරු ප්‍රතිඵල නිකුත් නොකළ හැකි බවත්, මැතිවරණ කොමසාරිස් “ටීවී එකට එන්නේ” ප්‍රතිඵල නිකුත් කිරීමට බවත්, අනෙක මෙවර ප්‍රතිඵල කොහොමත් සජීවීව විකාෂණය නොවන බව කලින්ම කොමසාරිස් විසින් ම දන්වා ඇති බවත් පැවසූවද, මිතුරා නොවෙයි සෑහීමකට පත් වූයේ.
මංගල, සෝමවංස සහ චන්ද “ජිල්මාට්”
කට කතා වලටත් මිනිස්සු ඇන්දිය හැකි තරමේ සීමාවක් ඇති බව පෙන්වා දෙනු ලැබූ පසුව වත්, මංගලට තම හැකියාව වන නැති දේ මහා ලොකු දේ කර පෙන්වීමේ ගතිය අත හැර ගත නොහැකි ලෙසකි. ෆොන්සේකා මහතා හැරුණු විට, දැන් මේ චන්ද ප්‍රතිඵලය පිළිගත නොහැක්කකැයි කියන්නන්න් ගේ පෙරමුනේ සිටින්නේ මංගල සහ සෝමවංසය.ජනප්‍රිය චෝදනා වන්නේ, ෆොන්සේකා මහතාගේ චන්ද මිටි වල පිට පැත්තට මහින්ද ගේ චන්ද දෙක බැගින් දමා ෆොන්සේකාගේ චන්ද මිටි “මහින්දකරණය” කළ බවත්, සෝමවංසට අනුව “කම්පියුටර් ජිල්මාට්” එකකින් ප්‍රතිඵල වෙනස් කළ බවත් ය.
චන්ද ගැනීම පිලිබඳ අප මීට පෙරත් ඉංගිරිසියෙන් සඳහන් කළෙමු. මෙවර රිවිර, ඊට වඩා බෙහෙවින් විස්තර සහිත ලිපියක් සිංහලෙන්ම පළ කර ඇත. මෙම ලිපියට අනුව, චන්ද මිටි මාරු කිරීම ලක්ෂ 18ක් වෙනසක් ඇතිවන අන්දමට කෙසේ වෙතත් දස දහසක වෙනසක් ඇතිවන අන්දමට වත් කළ හැකි නොවන්නක් බව ඕනෑම මෝඩයෙකුට තේරෙනු ඇත. තෙවරක් ගණන් කෙරුනු පසුවත්, අහඹු ලෙස ගන්නා නියැදි වලින් නිසි අපේක්ෂකයාටම චන්ද යොමු වී ඇති දැයි පරීක්ෂා කරණු ලැබේ. තැපැල් චන්ද වලින් පෙනී ඇති ආකාරයටත්, පිස්සකු, කුහකයකු හෝ මැටි මෝළෙකු නොවන ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි අන්දමටත්, 50% කෙසේ වෙතත් ෆොන්සේකා මහතාට තැපැල් චන්දය දුන් පිරිස ද ඇතුළුව අඩු ගණනේ 30% පමණ මැතිවරණ නිලධාරී පිරිසක් ෆොන්සේකා මහතාට පක්ෂපාතී මතයක සිටි බැව් සිතීම සාධාරණය. මේ, පක්ෂ විසින් පත් කරනු ලබන නියෝජිතයනට අමතරවයි. ඉතින් චන්ද මිටි විකෘති කරන තෙක් මේ සියල්ලන්ම බලා සිටියා ද?
අනෙක, මූලික ප්‍රතිඵල නිකුත් කරන විටත් චන්ද වැටී ඇති ආකාරය ගැන සෑහෙන හැඟීමක් නියෝජිතයනට ඇත. චන්ද මිටි ගැනෙන්නේ ද යන්ත්‍රානුසාරයෙන් නොව මිනිසුන් අතිනි. ගැනීමේ ප්‍රතිඵලය, ඒ මොහොතේම මධ්‍යස්ථානයේ සිටින නියෝජිතයනට නිකුත් කරනු ලැබේ. මෙය සැක සහිත නම්, නැවත ගැනීමක් ඉල්වා සිටිය හැක. මේ ප්‍රතිඵලය කොමසාරිස් විසින් නිකුත් කරන ප්‍රතිඵලයට වෙනස් නම්, කොමසාරිස් ගේ “කොම්පියුටර් ජිල්මාට්” එක ඔප්පු කළ හැකි ලිඛිත සාක්ෂි ඒ මොහොතෙහිම නියෝජිතයන් සතුව ඇත! (ඊට අමතරව සෝමවංසට ඇවැසි වනුයේ ගණන් ටික අතින් එකතු කර බැලීමට පොකට් කැල්කියුලේටරයක් පමණි. රුපියල් 100-200 කට පමණ මෙය පහසුවෙන් සපයා ගත හැක.)
ඉතින්, මෙතරම් සරල කරුණක් ගැන බොරු කියන්නේ ඇයි?
“හිතේ අමාරුවට” සහ “කුහක කමට” යන්නෙන් තොර සාධාරණ උත්තරයක් මට නම් සිතා ගත නොහැක. මගේ අදහස නම්, මේ කියන්නේ අන්ත එජාප සහ අන්ත ජවිපෙ වාදීන්ට හිත හදා ගැනීමට යම් කිසිවක් ඇවැසි වීමේ, ජනපතිවරණයෙන් එහාට යන සීරියස් දේශපාලන අවශ්‍යතාව නිසා මිස සෝමවංස හෝ මංගල මේ කරුණු පුද්ගලිකව විස්වාස කරන නිසා නොවේ:චන්ද කිහිපයකින් පැරදිනි නම් සිය කාඩරයට අඩු ගණනේ “මහින්ද හොර කර දිනුවා” යන්න හෝ කියා බේරිය හැකිව තිබිනි. එහෙත් ලක්ෂ 18ක් බඳු විශාල චන්ද සංඛ්‍යාවක් සමග, එයද කළ නොහැක. අනෙක් අතට, තම අශ්වයා වට ගනනකින් නීත්‍යනුකූලවම පැරදුනු බවද පිළිගත නොහැක්කේ, ලඟ එන මැතිවරණයට හා කාඩරයේ චිත්ත ධෛර්යයට (morale) ඉන් අත් විය හැකි හානිකර ප්‍රතිඵලය නිසාය.
ෆොන්සේකා මහතා, සෝමවංස, මංගල පමණක් නොව ඊනියා උගතුන් ලෙස පෙනී සිටින්නට තැත් කරන්නන් ද මහින්දගේ ජය ඇදහිය නොහැකි බව කියන්නේ අමුතුම තර්ක පදනම් කොට ගෙනය:
මෙය ෆොන්සේකාට දේශපාලනයේ පළපුරුද්දක් නැතිවීම, ඔප්පු නොකළ ‘හොර ගිවිසුම්’ හෝ ඔහුගේ බෑනාගේ කොම්පැණිය ගැන කළ කතා ආදී සරල කාරණා වලට බැර කිරීමට තරම් ලේඛකයා අඳ බාල නොවේ. මේ කිසිවක් අපේ රටේ බහුතර ඡන්ද දායකයාට වැදගත් නැත. එසේම ඡන්දය ප්‍රකාශ නොකළද ඔවුන් විශාල පිරිසක් ෆොන්සේකාට යම් ගෞරවයකින් සැලකූ බවද ඔහුගේ රැස්වීම් වලට එක් රොක් වූ ජනකායෙන් පැහැදිළිය. යුද්ධය නතර කිරීම වෙනුවෙන් කළගුණ සැලකූයේ නම් එයද 50-50 ලෙස අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදී යා යුතුව තිබුණේය.
ටැබූ සබ්ජෙක්ට්ස් ගේ අබූත වලට මෙහි සහ මෙහි මා මීට පෙර පිලිතුරු දී ඇත. මෙම ලිපියේ සන්දර්භයට අදාල ලෙස තවත් කතා කළ හැකි දේ වෙයි. එය නම්, ටැබූ තමන්ගේ මතය හෝ තමන්ට වත් අයිති නොවන මතයන්, පොදු ජනයා වෙත ඇතැයි බලෙන් පැටවීමට යත්න දැරීමයි. ප්‍රථමයෙන්, “ඔප්පු නොකළ” බෑනා ගේ කොම්පැනියේ දූෂන ගැන සාමන්‍ය ජනතාව ගනන් ගන්නේ නැතැයි කියන්නේ, මහින්දගේ දූෂන අති මහත් බහුතරය මෙපමණක් වත් ඔප්පු නොකළ දේ බව නොසලකා මහින්ද විවේචනය කළ ටැබූ මය. හොර ගිවිසුම් ගැන කීවේ මහින්ද පමණක් නොවූවත්, ෆොන්සේකා ද්‍ර.ජා.ස සමග එකතු වීම සාමාන්‍ය ජනයාට කෙසේ බලපෑවේදැයි කීමට ටැබූ සුදුස්සකු නොවන්නේ අන්ත කොටි හිතවාදී ද්‍ර. ජා. සන්ධානය හෝ දෙමළ ජාතිවාදය ගැන ටැබූ ගේ අදහස් මෙරට පොදු ජනයාගේ අදහස් නොවන නිසා ය. එදා සොල්දාදුවන් අවශ්‍ය විට පොර කිරීම විහිලුවක් ලෙස දුටු ටැබූ, අද තම ඊනියා ලිබරල් උගත් කමද පසෙක තබා, යුද්ධයේ ගෞරවය 50%-50% බෙදිය යුත්තේ දේශපාලන නායකත්වයත්, පාබල හමුදා නායකත්වයත් අතර බව කියයි! (එතකොට ගුවන් හමුදාවටත්, නාවික හමුදාවටත්, අයිති වන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. ඒවාට බෙදිය යුතු රාජපක්ෂගේ කොටසින් විය යුතු ය.) කන්න ඕනෑ වූ විට ටැබූට සරත් ෆොන්සේකා කබරගොයා තල ගොයා වූවත්, යුද්ධය දිනීමට අනිවාර්ය අවශ්‍යතාවය වූයේ මහින්ද ගේ දේශපාලන නායකත්වය බව කුහකයකු නොවන ඕනෑම “උගතකු” පිලි ගනු ඇත.
අනෙක, රැස්වීම් වලට එන සෙනගින් චන්ද ලැබෙන හැටි තීරණය කිරීමට තරම් මෙතැන කුමක් කීවත් ටැබූ ම වත් අඳබාලයෙක් නොවේ.
මෙබඳු කරුණු සලකා බලා, මහින්දට මිනිස්සු චන්දය දුන්නේත්, ෆොන්සේකාට නොදුන්නේත් මොන හේතු උඩ දැයි පැහැදිලි කිරීමට සරල උත්තර ටිකක් දීම සුදුසු යයි හැඟේ.
ෆොන්සේකා පැරදුනේ ඇයි?
කැපුවත් කොල එජාපය, ජවිපෙ සහ එජාපයට චන්දය දීමට අවශ්‍ය නම් ග්‍රහ චාරයෙන් හෝ හේතුවක් හොයා ගන්න ඊනියා ලිබරල් උගතුන්, ෆොන්සේකා නොව ප්රභාකරන් මහින්දට එරෙහිව ඉල්ලූවත් චන්දය දෙනු ඇත. ඊනියා “නිර්පාක්ෂික” අපේක්ෂක ෆොන්සේකා මහතාට ලැබුනු 40%ක චන්ද ප්‍රමාණය මෙයින් වුවද පැහැදිලි කළ හැක. මෙයට “නිර්පාක්ෂික චන්ද කුට්ටිය” යයි කියමු. මා කතා කරන්නේ අනෙකුත් චන්ද සැලකිය යුතු වශයෙන් ෆොන්සේකාට ආකර්ෂනය නොවූයේ මන්ද යන්න ගැනයි.
යුද්ධය දිනීම
මහින්ද 2005 දී ජනපති වන විට එජාපයේ ප්‍රධාන සටන් පාඨය වූයේ “මහින්ද ආවොත් යුද්ධය ඒවි” යන්නයි. මතු පිටින් සාම සාකච්චා ගැන කුමක් කීවත්, ජාතිකවාදී බලවේග වලින් කෙලින්ම සහයෝගය ලැබූ මහින්ද, කල් යල් බලා යුද්ධය පටන් ගත්තේය. (සටන් විරාම ගිවිසුම අහෝසි කිරීම ගැන එක්සත් ජාතික පක්ෂ ස්ථාවරය යනුවෙන්
එජාප වෙබ් අඩවියේ අද දක්වාත් ඇති ලියවිල්ල, එජාපය යුද්ධය සිටි ස්ථාවරය පිලිබඳ ලිඛිත සාක්කියකි.) එබැවින් මහින්ද යුද්ධයට සූදානම් නොවූ බව වත්, ආණ්ඩුව යුද්ද කළේ ෆොන්සේකා ගේ තනි උවමනාවට බව වත් ෆොන්සේකා කියන විට, එය විශ්වාස කරන්නන් සිටියේ නම් අමුම අමු තකතීරු 0.1% පමණ කොටසක් විය යුතුය. අනෙක යුද්ධය කරද්දී එයට පක්ෂ වූවෝ කවරහුද, යුද්ධයට නිගරු කළෝ කවරහුද, කොටින්ට අවසාන දවස දක්වා කඩේ ගියහු කවරහුද යන්න අමතක වන (ගොන්කම, කුහක කම හෝ සිලෙක්ටිව් ඇම්නේසියාව උඩ) ගොන්නු සිටියා නම් ඒ වන විට කොහොමත් සිටියේ ඉහත සඳහන් කළ නිර්පාක්ෂික චන්ද කුට්ටිය තුලය.
චන්දය වූයේ පිල් දෙකක් අතරයි. මහින්ද පිල නියෝජනය කළේ 2005 සිටම කොටින්ට විරුද්ධ වූ පිල වූ අතර, ෆොන්සේකා නායකත්වය දුන්නේ මේ වන විට පාරාජිකා වී සිටි ජවිපෙ හැරුණු කොට ත්රස්තවාදීන්ගේ සහයෝගයට සිටි සියලු බළ ඇනි වල එකතුවකටයි. ඉතින් ෆොන්සේකා කුලියට ගෙන එයින් තමාට නැති යුධ ගෞරවයක් ඇති වේ යයි යමෙකු සිතන්නේ නම්, එය පිරිසුදු රෙද්දක් මඩ ගොහොරුවකට එබීමෙන් එහි ජලය පිරිසුදු කළ හැකැයි සිතීමට දෙවැනි තකතීරු කමක් නොවේ.මිනිස්සු ටැබූ හිතන තරම් ගොන්නු නොවීම තුල, ෆොන්සේකාට වූයේ මඩ ගොහොරුවට එබූ රෙද්දට වූ දේය.
දූෂන චෝදනා
මහින්දට දූෂන චෝදනා එල්ල කළ බොහොමයක ගේ කැරැට්ටුව මිනිස්සු දැන සිටියහ. අනෙක, යුද්ධය සහ ඊනියා දූෂන චෝදනා යටතේත්, මහින්ද අනෙක් (අදූෂිත??) ආණ්ඩු නොකළ තරමේ සංවර්ධනයක් කළ බවද මිනිස්සු දුටහ. එජාප/ජවිපෙ/මංගල සන්ධානයේ කට කතාද මිනිස්සුන්ට අසාම එපා වූයේ චන්දයට සති කිහිපයකට කලිනි. සමහර විට, මී උගුලකට ඇමක් දමන විට මීයාටද ටිකක් ඉඩ තැබිය යුතු බව මතක තබා ගැනීම කටකතා මඩ බලකායට ප්‍රයෝජන වනු ඇත. ආණ්ඩුව ආපසු හැරී ප්‍රති පහාර එල්ල කිරීමට පටන් ගත් විට, මඩ යුද්ධය සම්පූර්න වෙනස් මගක් ගත් අතර, ජවනිකාව කෙළවර වූයේ ෆොන්සේකාගේ කිල්ලෝට වල හුනු ද එලියට එමිනි. මහින්දට චන්දය දුන් මිනිස්සු කොහොමත් ඇකඩමික් “අදූෂිත” පාලනය ප්‍රමුඛතාවක් කර නොගත් බැවින් සහ ෆොන්සේකා මේවන විට තම එකම තුරුම්පුව කොට ගෙන සිටියේ අදූෂිත පාලනය බැවින්, චරිත ඝාතනයේ අවාසිය වූයේ ඊනියා අකලංක නිර්මල නිර්පාක්ෂික අපේක්ෂකයාට ය. ෆොන්සේකාගේ කලවැදි කතා ඉතිරි හරියට වග කීවේය.
අවසාන සතියේ නින්දෙන් අවදි වූ ආණ්ඩුව දූෂන චෝදනා වලට බැරි බැරි ගානේ උත්තර දෙන විට, දූෂිතයන් විසින් දූෂිතයන් වෙත එල්ල කළ චෝදනා පිළුනු වී තිබිනි. වංචා කල ලෙස සඳහන් කළ ලොකුම ඉලක්කම් එජාප කාලයේ සිදු වූ දේ වීමද, ඇතැම් සංඛ්‍යා (හෙජින් වංචාව) නිසා වූ පාඩු සඳහන් කලාට වඩා සුළු වීමද, බොහෝ දෙනෙකු සඳහනට ගන්නට ඇත. කවර තත්ත්වයක් යටතේ වත්, වංචා චෝදනා, ඒව පතුරුවා හළ නිර්පාක්ෂික කුට්ටියෙන් එහාට ලොකුවට ඒත්තු ගැන්වෙනු නොපෙනිනි. පෙනෙන්නේ, දූෂන චෝදනා ගිරවුන් මෙන් පතුරු ගැසූ බහුතරය, කොහොමත් මහින්දට නොව එජාප/ජවිප යෙන් එන පොල් පිත්තකට වුවත් චන්දය දෙන්නන් බවයි.
පොරොන්දු
අදූෂිත පාලණය පිලිබඳ ෆොන්සේකා පිලේ පොරොන්දු විශ්වසනීය නොවූයේ ෆොන්සේකා වටා සිටි බොහොමයක දූෂිත ඉතිහාසය බහුතරයකට රහසක් නොවූ බැවිනි. කිසිම සැලසුමක් නැතිව දිගට හරහට දෙනු ලැබූ විකාර කැරට් අල පොරොන්දු වලින් යම් කිසිවකු ආකර්ශනය වේ යයි සිතීමද අමාරු ය. අනෙක මෙම පොරොන්දු ඉටු කිරීමට මුදල් ලබා ගත හැකි ආකාරය වශයෙන් දැක්වූයේ ද කිසි සේත් විශ්වාස කළ හැකි හෝ තාර්කික හේතු නොවේ. බහුතරයක් පොරොන්දු වලින් ඉලක්ක වූ සමාජ තීරු සාමාන්‍යයෙන් උගතුන් වීම තුල, කොහොමත් නිර්පාක්ෂික කුට්ටියේ සිටි අන්ධයන් හැර අන් අය අධික වශයෙන් මේ මැටිමෝල් පොරොන්දු වලට ආකර්ශනය වී යැයි සිතීම අසීරුය: පොරොන්සු වල ස්වභාවය එතරම් ම බුද්ධියට නිගා කරන සුළු විය. විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව ගැන චන්දය ලංවන විට ෆොන්සේකාට වත් මතක තිබීද යන්න ප්රශ්නයකි.
යහ පාලනය
කොළඹ ලිබරල් උගතුන් තරම් බුද්ධි ප්රභාවක් වත් NGO සල්ලි වත් පොතේ ගුරු දර්ශන වලින් වාත්තු කරනු ලැබූ අච්චු මතවාද වත් වලින් හිස් පුරවා නොගත් අති මහත් බහුතරයට, යහ පාලනය පිළිබඳව තිබුනේ වඩා සරල ආකල්පයකි. තමාගේ පාඩුවේ වැඩක් කරගෙන, බියක් සැකක් නැතිව රස්සාවක් කර ගෙදර ඒමේ “මූලික අයිතිය” යුද්ධය නිමවීම තුල නාගරිකයන්ට ලැබී තිබූ අතර, පාරවල් සහ කුඩා සංවර්ධන ව්‍යාපෘති වලින් ගම්බද ජනතාවටද පහසු කම් ලැබී තිබිනි. පාතාලය සහ මත් ද්‍රව්‍ය ජාවාරම් ද සෑහෙන දුරට පාලනය වී තිබිනි. වංචා දූෂන ඇතිව හෝ, විශාල පරිමාන සහ අත්‍යවශ්‍ය (විදුලි බලය වැනි) සංවර්ධන ව්‍යාපෘති වලට දේශපාලන අවාසි නොතකා අත ගැසී තිබිණි. මේ තත්ත්වය තුල, මෙතුවක් කල් මේ පිලිබඳව කිසිත් නොකළ එජාපය හෝ රටේ දේපල ගිනිබත් කළ ජවිපෙ, මහින්ද ගෙන් මස් රාත්තල ඉල්ලීම, උගතුන්ට කෙසේ වෙතත් බහුතරයක් ගැමියන්ට විෂය වූයේ නැත. මෙය “අවම තත්ත්වයන් යටතේ සන්තුෂ්ටියට පත්වීමක් ලෙස” අතැම් උගතුන් දකිනු ඇත. නමුත් මතක් කළ යුත්තේ, කීම් මිස කෙරුම් නැති, ත්රස්තවාදයට ආත්ම ගරුත්වය පාවා දුන් ලිබරල් උගතුන්ගේ උවමනාවන් වෙනුවෙන්, මෙතරම් අවම තත්ත්වයන් වත් ඇති කළ රාජපක්ෂ පාලනය දඬුකඳේ ගැසීමට, නිර්පාක්ෂික කුට්ටියෙන් ඔබ්බේ ජනතාවට ඒ හැටි කැසිල්ලක් නොවූ බවයි.
සාමාන්‍ය මිනිසාගේ යහ පාලනය පිලිබඳ අදහසට ලං වූයේ මහින්ද ඇති කළ ජීවිතය මිස, කොටින්ට යටවූ, කොළඹ හතට ලොකු හැන්දකින් බෙදන රටක, ඊනියා බොරු-ස්වාධීන (pseudo-independent) කොමිෂන් සභා හෝ 17 වන ව්‍යවස්ථා සංශෝධන නොවේ. එහෙයින්, ඒ වෙනස ඇති කළ මහින්ද නිර්පාක්ෂික නඩයට වඩා මිනිසුනට “විශ්වාසනීය” විය.
ෆොන්සේකා ප්‍රතිරූපය
සරත් ෆොන්සේකා සාලයේ කිසිවකු සමග සුහද පිළිසඳරක යෙදී සිටියි. අතරමං වූ මීමැස්සකු ෆොන්සේකාගේ හිස අසලින් කරකැවෙමින් කරදර කරනු පෙනේ. ක්ෂනික අත් පහරකින් මැස්සා අල්ලා ගන්නා ෆොන්සේකා මැස්සා එලියට මුදා හරී. නිදහසෙන් කුල් මත් වන මැස්සා බිඟු නද දෙමින් සතුටින් මල් පැනි උරා බොයි.
සරත් ෆොන්සේකා දුබලයා පෙලන්නෙක් නොව නඟා සිටුවන්නෙක් බව තිරයේ කියැවේ.
මේ දැන්වීම දුටු විට මගේ සිතට නැගුනේ ජයන්ත චන්ද්‍රසිරිගේ “ගරිල්ලා මාකටිං” චිත්‍රපටයේ අතිශයෝක්තියට නංවන ලද ප්රතිරූප ගොඩ නැංවීමයි. ෆොන්සේකා ගැන තිබූ ප්‍රසිද්ධ ප්‍රතිරූපය වූයේ “ඉස්සරහට ගියොත් ජොනී – පස්සට ගියොත් ෆොනී” යන දැඩි හමුදා නායක ප්‍රතිරූපයයි. මෙහි ඒ හැටි වරදක් නැත; යුද සෙන්පතියෙක් හැටියට එබඳු ප්‍රතිපත්තියක් ඇති වීම මිනිස්සු විවේචනය නොකළහ. කවුරුන් හෝ බක පණ්ඩිත මාකටිං කාරයෙක්, ෆොන්සේකාගේ ප්‍රතිරූපය දරදඬු වැඩි බවත්, එහි මුදු මොලොක් කම පෙන්නන දැන්වීම පළ කළ යුතු බවත් කියන්නට ඇත. එහෙත් මෙබඳු දැන්වීමකින් වෙන්නේ, සරත් ෆොන්සේකා ඉවත් කර ඒ වෙනුවට මර්වින් සිල්වා ආදේශ කළහොත් මර්වින් ගේ ප්‍රතිරූපයට ඇති වේ යයි අපේක්ෂා කළ හැකි වෙනසට වැඩි යමක් නොවේ. තකතීරු දැන්වීමකින් කී පලියට මිනිසුන් තුල නැති ගුණ ඇතැයි විශ්වාස කරන්නට මෙරටේ ඉන්නේ ගොන්නු නොවේ; සමහර විට පනහේ දශකයේ දේශපාලනයට මේවා හරි යන්නට ඇත. දැන්වීමෙන් සිදුවන්නට ඇති එකම (අ)වාසිය නම්, ෆොන්සේකා නම් ඇත්තටම මෙබඳු මුදු මොලොක් පුද්ගලයකු නොවන බවත්, නමුත් එහෙම ප්‍රතිරූපයක් ඇති කෙනෙකු ඉන්නා බවත් මිනිසුන්ට මතක් වීමයි.
චන්ද ව්‍යාපාරයේ මුලම සතිය ෆොන්සේකා පටන් ගත්තේ කුප්‍රසිද්ධ සුදු කොඩි ඇබැද්දියෙනි. (එතුල අජිත් පී පෙරේරා වැනි කවටයන් හැසිරුනු අයුරින්, පරන එජාපය ඇතුලතින් වෙනස් වී නැති බවද මිනිසුන්ට මතක් වන්නට ඇත.) වැරැද්ද නිවැරදි කිරීමට ගොසින් කළ කී දැයින්, විශේෂයෙන්ම සන්ඩේ ලීඩර් පුවත් පතට එරෙහිව නඩු පවරන බවට බොරුවට හිස් තර්ජන කර පසුව කර ඇරීමෙන්, ඊනියා “වීර” ප්‍රතිරූපයේ ඉරි තැලීම ඇරඹුනි.
විවේචනයන්ට මුහුණ දුන් අන්දම, බලයට පත් වූ විට “දූෂිතයන්ට” කරන දේ ගැන දිනෙන් දින වැඩිවූ වගාඩම්බර, පැය 24/48න් හිරේ දැමීම ගැන තර්ජන, කල වැදි කතා, යනාදී සියල්ලෙන්ම ෆොන්සේකා මහතා පෙන්වූයේ දේශපාලනයට අවශ්‍ය තරම් තමා තවමත් හමුදා කබායෙන් එලියට විත් නොමැති බවය. මහින්ද රාජපක්ෂගෙන් දරුණු පලි ගැනීමක් මංගලට සහ ෆොන්සේකාට අවශ්‍ය වුවද, බහුතරයක් ජනයාට ඇවැසි නොවීය.
ෆොන්සේකා කෘත්‍රිම දේශපාලක ප්‍රතිරූපයේ බොල් බව සම්බන්ද හොඳම උදාහරණය අම්බලන්ගොඩ/බලපිටිය උපන් ගමින් ෆොන්සේකා ලැබූ දැඩි පරාජයයි. වර්ණවත් දේශපාලන ඉතිහාසයකට උරුම කම් කියන ඒ මිනිස්සු, ජාතික තලයේ ප්‍රශ්නයකදී නිකම් උපන් ගම හෝ කුලය වැනි සිල්ලර කරුණකට සීමා නොවී, තමා දන්නා ෆොන්සේකා හරි ගණනට කැපූහ; ලංකාවේ දේශපාලකයින්ගේ කුහක, අමන, තකතීරු බවේ කණගාටුදායක උදාහරණයක් වන අජිත් පී පෙරේරා ට වඩා කුලවාදය අතින් පවා තමන් ඉරිදියෙන් සිටින බව පෙන්වමින්, ෆොන්සේකාගෙ ඔරු පැදීම ගණනකට නොගත් හ.
ෆොන්සේකාට තමාගේ තිබුනු ජනප්‍රිය ප්‍රතිරූපය අතහැර, ජඩ දේශපාලකයකු ලෙස රූපාන්තරණය වීමට ගත වූයේ මාස දෙකකට අඩු කාලයකි. එය සිදු වූයේ එලි පිටය. චන්දය ඇති මිනිසුන්ගේ ඇස් ඉදිරිපිටය. දන්නා දූෂිතයා මීට හොඳ බව මිනිස්සු තීරණය කරන්නට ඇත්තේ සියළුම මිනිසුන් නිර්පාක්ෂික කුට්ටියේ නොසිටි බැවිනුත්, මහින්ද එලවීම කෙසේ වෙතත් ෆොන්සේකා ගේ වෛරය පිරිමැසීමට මහින්ද හම ගැහීමට තරම් වුවමනාවක් මද්‍යස්ථ මිනිසුන්ට නොමැති වීමත් නිසාය.
සියල්ලන්ටම සියලු දේ වීමට යාම
ෆොන්සේකා, යහපාලනය ගැන බණ දෙසමින් ම, තම කණ්ඩායමට එන ඕනෑම කුණු ගොඩක් බාර ගත්තා පමණක් නොව හිස් මුදුනේද තබා ගත්තේය. අර්ජුන රණතුංග බඳු පාරාජිකා වූ දේශපාලන කුණු ගොඩවල් මෙන්ම, තමාට බලය ඇති විට අත්තනෝමතිකව බලය යෙදවූ බවට දරුනු චෝදනා ඇති හිටපු අග විනිසුරු සරත් එන්. ද සිල්වා ගේ ද සහය ලබා ගත්තේය. නරකම උදාහරණය වූයේ, අන්ත ප්‍රති විරෝධී එජාපය සහ ජවිපෙට අමතරව දෙමළ ජාතික සංධානය සමගද ප්‍රතිපත්ති ප්‍රසිද්ධ නැති ඊනියා “මහත්වරුන්ගේ” එකඟතාවන්ට චන්ද කුට්ටිය පමණක් බලාගෙන යාමයි.
අවසාන මොහොත දක්වා කොටින්ගේ නියෝජිතයා වූද, මහින්ද ගෙන් “ඉල්ලීම් නොලැබෙන බව” කියා මහින්දට සහයෝගය නොදුන්නා වූද, රාජ්‍යයට (state) හතුරු කමක් මිස මිතුරු කමක් දක්වා නැති වූද දෙමළ සංධානය, ෆොන්සේකා සමඟ කරුණු ප්‍රසිද්ධ නොකළ එකඟතාවකට ඒම ගැන ජවිපෙ අනුර කුමාරගේ මතය වූයේ “මහින්ද මහත්තයා දෙ.ජා.සංධානයේ ඔක්කොම ඉල්ලීම් වලට එකඟ වුනා, ඒත් දෙ.ජා.සංධානය මහින්ද විශ්වාස කළේ නෑ. ෆොන්සේකා විශ්වාස නිසා කිසිම ඉල්ලීමකට එකඟ නොවීත් සහයෝගය දෙන්න තීරණය කළා” යන්නයි. මෙවන් අමු තකතීරු මොට්ට මෝල් කියමනක් පිළි ගත්තා නම් පිළි ගන්නට ඇත්තේ කොහොමත් ෆොන්සේකාට චන්දය දිය යුතු නිසා හිත හදා ගත යුතු නිර්පාක්ෂික කුට්ටියට අමතරව, අනුර කුමාර පෙන්වූ බුද්ධි මට්ටම වන වයස 10-12 “ජනතාව”ය. ලංකාවේ චන්ද බලය ඇත්තේ වයස 18න් ඉහල පුරවැසියන්ට බැවින් මෙයින් එතරම් යහපතක් නොවූ බව ලේඛකයාගේ හැඟීමයි.
කොටින්ගේ නියෝජිතයන් සමග විවෘත චෙක් පත් එකඟතාවකට යාම, ස්වෛරී, ස්වාධීන යනාදී වචන රැසක් කියවමින් ‘ඒකීය’ ගැන නැවත නැවතත් ඇසූ විට “ඒක කොහොමත් ව්‍යවස්ථාවෙ තියන නිසා අමුතුවෙන් කියන්න ඕනෙ කමක් නැහැ” කීම, නිර්පාක්ෂික කුට්ටියට කෙසේ වෙතත් අනෙකුත් චන්ද දායකයිනට ඇති කළේ සැකයකි. දෙමළ ජාතිවාදයට කඩේ යන ටැබූ සබ්ජෙක්ට්ස් වැන්නන් ෆොන්සේකාට ජාතිවාදී දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලැබීම ‘ධනාත්මක’ සේ දුටුවද, බොහොමයක් දෙනා මෙහි චන්ද කෑදර කමකට එහා ධනාත්මක බවක් දැක්කේ නැත: සිදු වූයේ ෆොන්සේකා එක විටම ජාතිවාදීන්ගේත්, ජාතිවාදීන්ට කඩේ යන්නන් ගේත්, තමාගේත් නියෝජිතයා විය නොහැකි බව තේරුම් යාමයි. දෙමළ ජාතික සංධානය කොටින්ගේ මිතුරන් බවත්, කරුණා, පිල්ලියාන් සහ ඩග්ලස් කොටින්ගේ හතුරන් බවත් තමාම 2005 දී සිටි ස්ථාවර ජවිපෙ විලි ලැජ්ජා විරහිතව අමතක කළත්, මිනිසුන්ට මතක තිබිණි. රටේ “සිස්ටම් එකට කෙලවීම” සඳහා ෆොන්සේකා ඉත්තකු පමණක් කර ගත යුතු යයි පවසන්නන්ද ෆොන්සේකාට කඩේ යන්නන් අතර සිටීම, අදූෂිත, අකලංක, දේශපාලනයට උඩින් ඇති චරිතයක් ලෙස ෆොන්සේකා උස්සා තැබීමට ප්රතිවිරෝධීය.
මෙවැනි විහිළු, අමණ ප්රතිවිරෝධයන් තුල, යහපාලන සීතාම්බර පටයක් හැඳ පලිගැනීම ප්‍රධාන අරමුණ කර ගත් දේශපාලන පැරෂුටයක් මාධ්‍ය, SMS, අන්තර්ජාලය තුලින් තකහනියේ කෙලින් කිරීමේ අවසාන ප්‍රතිඵලය දැක්මට අවශ්‍ය සාමාන්‍ය දැනීම වත් නිර්පාක්ෂික කුට්ටියට නොතිබිණි. ඒ වෙනුවට සිතන ලද්දේ, සියල්ලන් එක් වීම නිසා සියල්ලන්ගේ ම චන්ද කුට්ටි ලැබේ යන්නය. මෙය නිකම්, උනු තේ එකකුත් අයිස් ක්‍රීම් එකුත් කලවම් කර සැදූ කෑමකට උනු කෑමට කැමති අයත්, සීතල කෑම වලට කැමති අයත් දෙකොටසම ආකර්ෂණය වේ යැයි සිතීමකි. එහෙමත් නැත්නම්, ස්ත්‍රී අංග ලක්ෂනත්, පුරුෂ අංග ලක්ෂනත් දෙකම ඇති ස්ත්‍රී පක්ෂයට වත් පුරුෂ පක්ෂයට වත් අයත් නොවන (නිර්පාක්ෂික) නපුංසකයකුට, ස්ත්‍රී පුරුෂ දෙවර්ගයේම බහුතර කැමැත්ත ඇතැයි සිතීමකි. මෙය වැඩ කරන තියරියක් නොවේ. 2010 ජනවාරි 26 වෙනිදා ඒ බව අවස්ථාවාදී දේශපාලන කෑදරයිනට පෙන්වා දෙන ලදී. අවසාන විග්රහයේදී, ෆොන්සේකා ලබා ගත්තේ සුළු ජාතීන්ද ඇතුළුව සාම්ප්‍රදායික එජාප/ජවිපෙ “නිර්පාක්ෂික” චන්ද කුට්ටි දෙක පමනක් බව ප්‍රතිඵලයෙන් සිතිය හැක.
අති සරලව කියන්නේ නම්, එජාපයට හෝ ජවිපෙට මහින්ද රාජපක්ෂ පැරදිය නොහැකි බව වෙනස් කිරීමට, උඩින් ආ ෆොන්සේකා ලවා මහින්දගේ යුද ජනප්‍රියත්වය හයිජැක් කිරීමේ තැත, සාර්ථක වූයේ නැත.
දැන් ඉතින්, රටෙ ජනතාව “බුද්ධිමත් මදි” බව වත්, “රාජාණ්ඩු වලට කැමති” බව වත්, කම්පියුටර් “ජිල්මාට්” වලින් චන්දය දිනූ බව වත් කියා හිත හදා ගැනුම හැර වෙන කුමක් කරන්නද. ජෝක් වලට අපිත් කැමතියි, මහත්තැන්ලා ඔහොම දිගටම හෙළුවෙන් නටන්න කො.


great post as usual
Brilliant, well informed analysis. My thoughts on the matter are similar. Why wasn’t this published in mainstream media?
Thanks guys
Bardo,
this wasn’t published on mainstream media because I’m not a mainstream writer. But does it matter much anyway, because the election result clearly shows that the “mainstream” is not as naive as the SF-bandwagon :p
තිතට කියල තියනවා…..!!
ඔබේ නිරීක්ෂණ සහ පැහැදිලි කිරීම් ඉතාම නිවැරදිය.
මට හිතෙන දෙයක් තමයි කවුරු මොන විදියට විවේචනය කළත්, අපේ රටේ බහුතර ජනතාවක් තවම සිටින්නේ අවිච්ඡින්න ඉතිහාසයක සහ සංස්කෘතියක මුල් සහිතව.
මේ මුල් තියෙනකම් මෙවර සිදු කරන්නට ගිය ආකාරයේ ක්‍රියාදාම වලින් රට අනතුරට පත් කිරීමට කිසිවෙකුට නොහැකියි.
ඒ නිසා තමයි කොහොම හරි මේ මුල් සිඳින ව්‍යාපෘති දියත් කරන්න බාහිර බලවේග උත්සාහ කරන්නේ.
අපි උත්සාහ කළ යුත්තේ මෙන්න මේ බලවේග පැරදවීමට අවශ්‍ය මතවාදය ජනතාව අතරට ගෙනයාමයි.
අගේ ඇති ලියුමක්.
බොහොම ස්තුතියි