Feeds:
Posts
Comments

Archive for May, 2010

අප විසින් මීට පෙරකිහිප විටක් එජාපය සහ එජාප හිතවාදීන් පිලිබඳ ප්‍රශ්නය සාකච්ඡාවට බඳුන් කොට ඇත. සාමාන්‍යයෙන් සිදුවන පරිදි, මෙවරද ආසන්න හේතුව “රනිල් එලවීමේ” දේශපාලන ලදරු වලිප්පුවයි.

සාමාන්‍යයෙන් ප්‍රජාතත්ත්‍රවාදී දේශපාලනයේ දී “මහ පක්ෂ” වලින් වන්නේ, චන්ද දායකයා නියෝජනය කිරීමයි. චන්ද දායකයාට ඉදිරියෙන් සිටිමින් චන්ද දායකයා ට “මග පෙන්වීම” (තෙල බෙදීම) සාමාන්‍ය භාවිතය බවට පත් කරගත් පක්ෂද ඇති බව සැබෑවකි.මතවාදය කවරක් වුවත්, බහුතරයක් උග්‍ර වාමාංශික පක්ෂත්, සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයත්, යම් තාක් දුරට ජාතික හෙළ උරුමයත් මේ ගොඩෙහි ලා සැලකිය හැක. මෙවැනි පක්ෂ තම මතවාදය චන්ද පදනමට වඩා වැදගත් කොට සලකති. මෙබඳු පක්ෂ වලට සිටින සුළු පාක්ෂිකත්වය ද, පාරට තාර දම්මා ගැනීම හෝ දේශපාලකයා මගුල් ගෙදරට ගෙන්වා ගැනීමට වඩා එහා ගිය ඇජෙන්ඩා සඳහා චන්දය පාවිච්චි කරති.

ජවිපෙ ද මේ ගොඩට දමා සැලකිය යුතු බව කෙනෙක් කිව හැක. ජවිපෙ මතවාදීමය වශයෙන් උග්‍ර රැඩිකල්වාදී වුවත්, දේශපාලනමය වශයෙන් කොතරම් අවස්ථාවාදී කුහකයන් ද යන වග ෆොන්සේකා වැනි දේශපාලන විකාරයක් ඔසවා තැබීමෙනුත්, දේශපාලන එදා වේල සඳහා වික්‍රමබාහු, ද්‍රවිඩ ජාතික සංධානය, රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, චන්ද්‍රිකා, රවි කරුණානායක, මංගල සමරවීර සහ මහින්ද යන සියල්ලන් සමගම වරින් වර යහන් ගත වීමට සැරසීමෙනුත් පෙනේ. (ජවිපෙ බලතල ලබා ගෙන, ඇමති කම් දරා ගෙන නොසිට මහින්ද ගෙන් වෙන්වීම දේශපාලන අවංක කමක් හැටියට ඇතැම්හු දකිති. ලේඛකයාට අනුව නම් මෙය ජවිපෙ මහින්ද සමග තම ගමනේ අවසානය මළ අන්තයක් (dead end) බව දැන, නැවත දේශපාලන අදාලත්වයක් ඇති කර ගැනීම සඳහා කරන ලද බලාපොරොත්තු විරහිත (desperate) විකාරයකි.) එබැවින් හරිස්චන්ද්‍ර විජේතුංගට හෝ වික්‍රමබාහු කරුණාරත්නට ඒ සම්බන්ධයෙන් ඇති ගෞරවය සෝමවංස අමරසිංහට දීමට ඔහුගේ අරමුනක් නැත.

ජනප්‍රිය ප්‍රධාන පක්ෂයක් වන එජාපය ද, එවැනිම වූ ශ්‍රීලනිප ය මෙන් ම (හෝ ඊටත් වඩා) තමා ජනතාවට මග පෙන්වන බව කියන බව සැබෑ ය. ඇතැම් වකවානු වලදී එජාපය වරද්දමින් හෝ කළ යුතුව තිබූ දේ කළ බවද සැබෑය. විවෘත ආර්ථිකය වල් බූරු ක්‍රමයක් ලෙස හඳුන්වා දීම මෙහිදී සිහියට එයි. එහෙත්, රැඩිකල් පක්ෂ වලට සාපේක්ෂව එජාපයේ චන්ද පදනම වූයේ “මහ” ජනතාව නැතිනම් පොදු චන්ද දායකයා ය. එජාපයට තිබූ ලංකාවේ විශාලතම වූද ප්‍රමාණයෙන් 40% කට ආසන්න වූද ස්ථිර චන්ද පදනම රඳා පැවතියේ මතවාදී හුටප්පර උඩ වත් ඊනියා ලිබරල් සටන් පාඨ හෝ හන්දි ගානේ වලන් පොළවේ ගැහිලි උඩ වත් නොව ධනපති දේශපාලනයේ සාපේක්ෂව සාර්ථක, අවංක සහ කාර්යක්ෂම පක්ෂයක් වීම උඩය.

මෙබඳු වූ එජාපයේ සීරියස් “කෙලවීම” ආරම්භ වූයේ, ලේඛකයා හිතන අන්දමට නම් රනිල් වික්‍රමසිංහ ගේ පාලන කාලය තුල ය. රනිල් වික්‍රමසිංහ නම් ආත්මාර්ථකාමී, අදක්ෂ, අකාර්යක්ෂම, කුඩු කේඩු, මෝඩ දේශපාලකයා මෙරට දේශපාලනයේ ලේඛකයා අකමැතිම චරිතය වීමට තව ඉතා සුළු පිරිසක් සමග තරගයක සිටින්නෙකි. එහෙත් මේ පුද්ගලික වැරදි වලට වඩා ලේඛකයාට රනිල් සමග ඇත්තේ ප්‍රතිපත්තිමය ප්‍රශ්න ය.  ඉන් ප්‍රධාන තැන ගන්නේ පුද්ගලික ලිබරල් හීනයක් පසුපස යමින් ත්‍රස්තවාදීන් සනසවන ඊනියා සාම ක්‍රියා දාමයක් හරහා රටේ ආරක්ෂාවත්, ස්වාදීනත්වයත් පමණක් නොව ආත්ම ගරුත්වය පවා උගස් තැබීමට කරන ලද වැඩ කොටසය. එහෙයින් රනිල් නැමති පිළිලය දේශපාලන බිමෙන් අතු ගෑවී යන දිනක් දැකීමට ලේඛකයා කිසි සේත් කණගාටු නොවනු ඇත. ප්‍රශ්නය එය නොවේ: මීට කලින් ද කී පරිදි, ප්‍රශ්නය එජාප “පාක්ෂික”යන් ය.

එජාප පාක්ෂිකයන් ගේ ප්‍රතිපත්ති

2005 දී රනිල් අනුමත කළ සහ රාජපක්ෂ පාලනය උග්‍ර ලෙස විවේචනය කළ ඇතැම්හු, රාජපක්ෂ පාලනයේ ධනාත්මක පැත්ත සහ රනිල් ගේ එජාපයේ කුහක කම දුටු පසු තමාගේ මතවාද එලෙසම රැකගෙන පැත්ත මාරු කිරීමට පැකිළුනේ නැත. මේ පිලිබඳ ප්‍රශ්නයක් ලේඛකයාට නැත. කිසි දිනක පුද්ගලිකව එජාපයට චන්දය දී නැති මුත්, මීට පෙර ද සඳහන් කළ පරිදි, ලේඛකයා පාරම්පරික එජාප පෙළපතකින් පැවතෙන්නෙකි. ප්‍රශ්නය ඇත්තේ 2005 සිට අද දක්වා ම එජාපය සමග සිටින ඊනියා ලිබරල් නඩය ගැනයි.

2005 දී රනිල් දේවත්වයෙන් සැලකූ එජාප පාක්ෂිකයන් ඔහු සම්බන්ධයෙන් වැයූ පුරප්පට්ටු බහුතරයක් මේ වන විට ද ඒ අදාළ තර්කණ යටතේ සත්‍ය විය යුතුය. අති බහුතරයක් ලිබරල් නඩය ට 2005 දී රනිල් ට චන්දය දීමට තිබූ ලොකුම හේතුව, රනිල් රනිල් වීමයි. රනිල් උගතෙකි, මහින්ද නූගතෙකි. රනිල් ගේ “කඩ්ඩ සිරා” ය, මහින්ද ගේ “කඩ්ඩ අප්සෙට්” ය. රනිල් බුෂ් ගේ ප්‍රාන සම මිත්‍රයෙකි, මහින්දව සුද්දන් ගනන් ගන්නේ නැත. රනිල් ලිබරල් වාදියෙකි, මහින්ද ජාතිවාදියෙකි. රනිල් සාමකාමී ය, මහින්ද යුද වාදියෙකි. රනිල් කොලඹය, මහින්ද මැදමුලන ය. (මේ වෙනස පිදුරු මිනිසකු ලෙස ලේඛකයා විසින් සාදා ගනු ලැබූවක් නොවේ. මහින්ද මැදමුලන වීමේ දේශපාලන මානය මුලින්ම කතිකාවතට ගෙනාවේ මහින්ද චින්තනයට මැදමුලන චින්තනය යන නම යොදා ගත් රනිල් ම ය. චන්ද්‍රිකා ඇමතීමට හොරගොල්ල හෝ රොස්මීඩ් පෙදෙස කියා රනිල් යොදා ගත්තේ නැත). කොටින්ම කිවහොත් රනිල් පොෂ් ය, මහින්ද ගොඩේ ය. මහින්ද ට චන්දය දෙන්නේ ගොඩේ බයියන් ය.

(අඩු ගනනේ අතුරු දැල් සංවාද මණ්ඩප වල හෝ පුවත් පත් වල) රනිල් සඳහා හෝ මහින්දට එරෙහිව මතයක් ගෙනෙනු ලැබිණි නම්, එය බොහෝවිට ඉහත සඳහන් වෙනස් කම් වලින් එකක් හෝ කිහිපයක් පාදක කර ගත්තක් විය. මේ කරුණු අනුව නම්, රනිල් තවමත් සජිත් ප්‍රේමදාසට වඩා ඉදිරියෙන් සිටිය යුතු ය!

සජිත් ප්‍රේමදාස ගේ අද්‍යාපනය කුමක් වුවත්, භාවිතය වැඩ කරන්නේ රනිල්ට වඩා මහින්දට සමීපව ය. කොලඹට මුල් ඇති වුවද, ඒ මුල් දිව යන්නේ කෙසෙල්වත්තට විනා කොල්ලුපිටියට වත් කුරුඳු වත්තට වත් නොවේ. ප්‍රායෝගිකව, සජිත් අනවශ්‍ය පක්ෂ කටයුතු සඳහා වත් කොළඹ ඒම මග හරින තරමට හම්බන්තොටට ලැදි බව කියන්නේ සජිත් ම ය. සජිත් කිසි දිනෙක මහින්දගේ යුද්දය පාච්චල් නොකළේ ය. එහෙයින් පැලැන්තිය හෝ තත්ත්වය සම්බන්දයෙන් නම් රනිල් ගැන ඉස්සර කී කතා තවමත් වලංගු වේ. 2005 දී මහින්ද ගේ දේශපාලනය ජාතිවාදය, යුද වාදය, ලමයි වඩා ගැනීම, මිනිස්සු එක්ක හිනා වීම යනාදී සිල්ලර දේට ලඝු කළ අනුව නම්, අදටත් “බුද්ධිමත්” ජනතාව මැෂින් සහ බයිසිකල් බෙදීමට එහා ගිය දේශපාලනයක් නොකරන ප්‍රේමදාසට වඩා රනිල් ප්‍රිය කළ යුතු ය. එහෙත් “උගතුන්” වත් එසේ කරනු දක්නා නොලැබේ. එසේ නම් මේ වෙනස, රනිල් ගේ ප්‍රතිපත්ති වලට අදාළ වූවක් ද?

එසේ වන්නට නම්, ඊනියා රැඩිකල් ලිබරල් උගතුන් ප්‍රථමයෙන් පිලිගත යුතු වන්නේ, යුද්ධය/සාමය/බටහිර සම්බන්ධයෙන් තමන් මහින්ද/රනිල් සම්බන්ධයෙන් සිටි ස්තාවරය වැරදි බවයි. ප්‍රතිපත්තිමය වශයෙන්, එජාපය 2005 දී සිටි ආස්ථානයට ගෙනාවේ රනිල් ය. ප්‍රේමදාස, ලලිත්, ගාමිණී සියල්ල කොටින් ගෙන් ඝාතනනය වූයේ නිකම් නොවේ. එහෙයින්, රනිල්ට එරෙහි ප්‍රතිපත්ති මය වෙනසක් යනු ලිබරල් උගතුන්ට 2005 දී තමා සිටි තැනටම එරෙහි ප්‍රතිපත්තිමය වෙනසකි.

එසේ පිලි ගන්නා උගතෙක් නම් දක්නට නැත. තවමත් එජාපයට කඩේ යන බුද්ධිමතුන් මැත දොඩවන අයුරු බැලූ විට නම් පෙනී යන්නේ ප්‍රභාකරන්ට සිදුවූවාක් මෙන් ම, රාජපක්ෂගේ මිලිටරි ජගන්නාද (juggernaut) යෙන් තල්ලු කෙරුනු තරමට විනා ඉන් අඟලක් වත් පසු පසට ස්වේච්චාවෙන් නම් පසු බට “උගතෙක්” නැති බව ය. එහෙයින්, “මේ යුද්ධය ගරිල්ලා යුද්දයක්, සාම්ප්‍රදායික හමුදාවකට දිනන්න බැහැ” හෝ “යුද්ධය පටන් ගත්තොත් රට ලේ විලක් වේවි” වැනි පකිස් බූරු ලිබරල් ප්‍රතිභාවන් අද මුන ගැසීම උගහට වුවද, තවමත් පරාජය නොකැර ඉතිරි කෙරුණු සෙසු මතවාද නම් තවමත් පුවත් පත්, රූපවාහිණී, බ්ලොග් යනාදී සියළු මාධ්‍ය වලින් පිට වනු දක්නා ලැබේ. (මේ මහ දවල් එලිපිටම පරාජය කෙරුණු කතා ටික නම් අද රනිල් වත් කියන්නේ නැති නිසා, එතැන ද ඊනියා උගතුන්ට රනිල් සමග නොගැලපීමක් තිබිය නොහැක) වෙනත් වචන වලින් කියන්නේ නම්, ඊනියා ලිබරල් උගත්තු අද ද ප්‍රතිපත්තිමය වශයෙන් රනිල් සමග සිටිති.

ඊනියා ලිබරල් උගතුන්ට මේ උභතෝකෝටිකයට පත් වීමට සිදු වී ඇත්තේ, බුද්ධිමය ගැතියාව, සුද්දන්ට සහ කොලඹ ඉහල පැලැන්තියට ආවැඩීමේ හීන මානය, මතවාදීව පරාජය කරනු ලැබීමෙන් ඇති වූ වෛරය යනාදී හේතු නිසා රාජපක්ෂට “කෙලවා” එජාපය බලයට ගෙන ආ යුතු මුත්, එසේ ගෙන ආයුතු ඇයි දැයි කීමට පැහැදිළි හේතුවක් නැතිවීම උඩ ය. තිබූ සටන් පාඨ වලින් අඩක් වැරදි බව පෙන්වා දී ඇති අතර, ඉතිරි අඩ වන ධනවාදී සංවර්ධනයේ යන්ත්‍රය එජාපයටත් වඩා කාර්යක්ෂමව සහ ඇතැම්විට විය යුතු පරිද්දෙන්ම  අනුකම්පා විරහිතව (ruthlessly) අද රාජපක්ෂ හසුරුවමින් සිටියි. (මේ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ කළ දේ ගැන බන කියන ඇතැම්හු තමා විසින්ම හරි අහිංසක ලෙස සලකන ආගම් කල්ලි සිංගප්පූරුවේ එහෙම පිටින්ම තහනම් කිරීම හෝ “නීත්‍යනුකූලව” විරුද්ධ පක්ෂ මර්ධනය ගැන කිසිවක් නොකියති; මොන රටක වුවත් මේ උගතුන්ට පෙනෙන්නේ රාජපක්ෂ නොකරන හොඳ ටික පමණි) එජාපයේ ඉතිරි වී සිටින හැවවල් සමග කාර්යක්ෂම නූතන පාලනයක් ගෙන යාමට ඇති ඉඩ රනිල් සමග දිනීමට ඇති ඉඩ ට නොවෙනස් වනු ඇත.

ලිබරල් උගත්තු

විහිළු සැපයීමකට අමතරව වෙනත් අවදානමක් නැති වුවත්, බ්ලොග් අවකාශයේ තවමත් “ගෝත්‍රවාදය” ගැන උඩ පනින ලිබරල් ලේඛකයන් සහ ඊනියා විශ්ව විද්‍යාල උගතුන් දුටු විට, රනිල් එලවීමේ අලුත්ම මෙහෙයුම ගැන මේ ලිපිය ලිවීමට සිත් විය.  මේ එක් උගතෙකුට නම් අද දක්වාත් රනිල් සමග ඇති ලොකුම විවේචනය බව පෙනෙන්නේ රනිල්ගේ ලිංගිකත්වය සහ මිත්‍ර සංග්‍රහය එජාපයේ ජයග්‍රහණයට කර ඇති බාධාවයි.

සරත් ෆොන්සේකා “ගෝත්‍රවාදියකු” ලෙස පටන් ගෙන, නැවත ෆොන්සේකාගේ දිනුම් අවස්ථා (odds) යම් මට්ටමකට පැමිණ ඇතැයි සිතූ විට බොරුවට වික්‍රමබාහු කෙනෙකුට චන්දය දෙන බවක් හඟවමින් ම තමා පෙරදී වෛර කළ ජවිපෙ සන්ධානයත් සමගම ෆොන්සේකා ගනඳුරු මැදියමක අරුනැල්ලක් සේ දුටු මේ එක් උගතෙකුට, අන්ත පරාජයෙන් පසු “ෆොන්සේකාට හෙන ගැහුවත් මට මොකද, මොකෝ මම අඩු ගානෙ ඕකට චන්දෙ දුන්නද” ආස්තානයට නැවත මාරු වී එජාපයත් ජවිපෙත් මහ චන්දයට වෙනම ඉල්ලිය යුතු බව කීමට ගත වූයේ දින කිහිපයක කාල පරාසයකි. එජාපයේ ඇජෙන්ඩාව වෙනුවෙන් ඊනියා උගතාට බැසිය හැකි වලවල් වල තරම මෙයින් ම පෙනේ.

ඉතින්, රාජපක්ෂ පාලනයට ධනවාදී ආස්තානයක සිට (වික්‍රමබාහුට චන්දය දෙන ධනවාදී ආස්තානයක) බනින ගමන් ම, ඒ ධනවාදී රාමුවේ කෑලි රාජපක්ෂ විසින් රනිල් ටත් වඩා හොඳින් ඉටු කරන විට, තව දුරටත් එජාපයටම කඩේ යාමට කුමක් හෝ හේතුවක් හදා ගැනීමට මේ ලිබරල් උගතුන්ට සිදුවේ. තාවකාලිකව හෝ මේ සඳහා ඇතැමෙක් යොදා ගෙන ඇති මුව හම ඊනියා “වැඩවසම් වාදයක්” බව පෙනේ. මේ උගතුන්ට අනුව, රාජපක්සවාදය ධනවාදයක් නොවේ; වැඩවසම් වාදයකි. “කන්න ඕනෑ උනහම කබරගොයාත් තලගොයා වෙනවා” උපමාවේ අනික් පැත්ත දැන් උවමනා නම් “නොකන්න ඕනෑ උනහම ධනවාදයත් වැඩවසම්වාදය වෙනවා” යනුවෙන් දැන් අවශ්‍ය නම් වෙනස් කර ගත හැක.

රාජපක්ෂ පාලනයේ වැඩවසම් වාදී ලක්ෂන ඇති බව වෙනම කතාවකි. අඩු වැඩි වශයෙන් මෙරට සියලුම පාලකයෝ වැඩවසම් ලක්ෂන ඇතිව පාලනය කරති; රනිල් පවා පක්ෂය තමාගේ සහ තම කොලු ගැටවුන්ගේ බූදලය බව සිතයි. සමලිංගික කොළු ගැටවුන් යනු වැඩවසම් සංස්කෘති වල සංකේතයක් නොවූ පමණින් ප්‍රශ්නයේ මූලික හරය වෙනස් වන්නේ නැත. ධනවාදයට කත් අදින්නෙක් පවත්නා යතාර්ථයට අවංක නම් කළ යුතු මේ යතාර්ථයට සාපේක්ෂව කරන විවේචනයක් මිස රාජපක්ෂ දිනන තෙක්  ලංකාවේ නොම්මර එකේ පාර දෘෂ්‍ය ධනවාදයක් තිබුනාක් මෙන් අඳෝනා නැගීම හෝ ඊටත් වඩා වැඩවසම් ලක්ෂන චන්දය දිනීමටත් පෙර ම පෙන්වූ ෆොන්සේකා වැනි අදිපතිවාදීන්ට රෑට රෑට කඩේ යාම නොවේ.

අද එජාප ඊනියා ඉදිරි පෙළ දේශපාලකයන් කොතරම් සිල්ලර, තකතීරු සහ කුහක තැනකට වැටී ඇති දැයි පෙනෙන හොඳම සංකේතය නායකත්ව පොරය උග්‍ර වන විට සජිත්ට “ගේම දීම”ට රවි කරුණානායක ජාතික ඇඳුමට බැසීමෙන් කළ විහිලුවය. එජාපයේ වත්මන පිළිබඳව මෙවැනි නිරුවත් පින්තූර (portrayals) සැපයීම ගැන අප කරුණානායකට ස්තුතිවන්ත විය යුතුය. සමස්තයක් වශයෙන් ගත් කල (සහ මෙතුවක් කල් සිදුවූ ලෙස) එජාපය පක්ෂයක් ලෙස වෙනස් වන්නේද රවි කරුණානායක වෙනස් වන අන්දමට නම්, තවත් සෑහෙන කලක් රාජපක්ෂගේ වැඩවසම්වාදය ගැන ලතෝනි දීමට සහ චන්ද පරදින විට ජනතාවට බැනීමට ලිබරල් උගතුන්ට සිදු වනු ඇත.

Advertisements

Read Full Post »