Feeds:
Posts
Comments

Posts Tagged ‘ටැබූ’

මේ ලේඛකයා බ්ලොග් කෙරුවාවෙන් ඈත් වී සිටියේ ඇත්තටම ලියන්නට තරම් දෙයක් නොතිබුනු නිසා. මේක කුජීත වී ඇති එජාපයෙන් හෝ ජවිපෙන් කාටවත් තර්ජනයක් නැති මොහොතක්. බොහෝ දේවල් ඇන ගන්නා ගමන් වුනත් මහින්දත් යම් තරමකට හරි පාරේ යනවා. ඒ වගේ මොහොතක කාටවත් නිකන් මතවාදීව මුක්කු ගහන එකේ තේරුමකුත් නැහැ. එවැනි මොහොතක දේශපාලනය කතා කිරීමත් එක අතකින් විහිළුවක්. එහෙම වුනත්, ලේඛකයා බ්ලොග් කියවීමෙන් මිදුනේ නැහැ. මේ ලිපිය ලියන්නට සිතුනේ, බ්ලොග් කිහිපයක් “හැක් කිරීම” වටකොට ගෙන ගොඩ නැගී ඇති නරනාටකය දැකීමෙන් පසුවයි.

කලින්ම එක දෙයක් කිව යුතුයි. මේ කතිකාවතේ ඇති එක බ්ලොගයක් හෝ යම් කිසිවකු අතින් ඇත්තටම “හැක්” කරනු ලැබ ඇති නම්, මේ ලේඛකයා ඒ ක්‍රියාව කොන්දේසි විරහිතව තරයේ හෙළා දකිනවා. මොන පිස්සාගේ හෝ මෝඩයාගේ උනත් මහන්සියෙන් පවත්වාගෙන යන දෙයක් වෙන කෙනෙකු විසින් කඩාකප්පල් කර දැමීම වැරදි වැඩක්. අනෙක් අතට, ඇත්තට හෝ බොරුවට සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින ඇතැමුන් ගේ අදහස් ලේඛකයාට අනුව නම් ගැලපෙන්නේ රජ කාලෙට. ඒ නිසා මේක කවුරුන් හෝ සුද්ද කිරීමට කරන කතාවක් නොවේ.

මේ වන විට විවිධ හේතුන් මගින් නවතා දමා හෝ බලෙන් නවතනු ලැබ ඇති බ්ලොග් අතරින් වරකට දෙවරකට වඩා මේ ලේඛකයා ගොඩ වැදී ඇත්තේ බ්ලොග් දෙකකට පමණයි. ඒ, ටැබූ සබ්ජෙක්ට්ස් සහ කොලූ ගේ බ්ලොග්. සංගබෝධි, මොහොමඩ් හෝ පිස්සාගේ පලා මල්ල කියවීමට මේ ලේඛකයාට කාලයක් නැහැ. කොහොමත්, සිංහල දේශපාලන බ්ලොග් වල, ලංකා ඇකඩමික් වෙබ් අඩවියේ හෝ ඩිෆෙන්ස් වයර් අඩවියේ ඇති වුනු ආකාරයේ සීරියස් සංවාද ඇති වුනේ කලාතුරකින්. ඉහත කී අඩවි වල කතා කළ සිංහල සහ දෙමළ ජාතිකවාදීනුත් අනෙකාට “ජාතිවාදියා”, “ත්‍රස්තවාදියා” වැනි යෙදුම් යොදා ගත්තත්, සාමාන්‍යයෙන් ගත් කල තමන්ගේ ප්‍රතිවාදීන් ගේ මූලික තර්ක ගැන වත් හරි අවබෝධයක් තිබුණා. එහෙත් අපේ සාකච්ඡාවට බදුන් වන අඩ්වි වල බොහොමයකට තම ප්‍රතිවාදීන් ගැන තිබුනේ අති සරළ රේඛීය දැක්මක්.  කමෙන්ට් දාන පුංචි මල්ලිලා වගේම අංකල් ලා ට පවා තිබුනේ සියළුම ජාතිකවාදීන් වර්ගවාදීන් සහ මෝඩයන් බවත්, තමා එහෙම නැති බුද්ධිමත් පිරිසක සාමාජිකයකු බවත් වගේ හැගීමක්.

උදාහරණයක් හැටියට බහුතරයක් සරත් ෆොන්සේකාට කඩේ ගිය මෙම අඩවි වල පාඨකයන් සිතුවේ තමා මාර ප්‍රජාතන්ත්‍රවාදී, ජනතා වාදී අවංක බලවේගයක කොටසක් බවත්, මහින්දට කැමති උන් දූෂනයට භීෂනයට වගේ වගක් නැති උන් බවත්. (අවසාන විග්‍රහයේදී ටැබූ කඩේ ගියේ ෆොන්සේකාට. මහින්ද පරාජය කිරීමට ෆොන්සේකා ජවිපෙ සහ එජාපය සමග එක් වීම ගනදුරු මැදියමක අරුනැල්ලක් වශයෙනුයි ටැබූ අවසාන මොහොතේ දැක්කේ. මෙයින් කියවෙන්නේ එදා මහින්ද පරාජය කර ෆොන්සේකා දිනුවා නම් ටැබූට අනුව එය ධනාත්මක ප්‍රතිඵලයක් බවයි. වික්‍රමබාහුට චන්දය දුන්නා යයි කීවේ අවංකව නම් ටැබූ සිය බ්ලොගයෙන් කළ යුතුව තිබුනේ අනෙක් අයත් වික්‍රමබාහුට චන්දය දිය යුත්තේ ඇයි දැයි කීමයි.)

ටැබූට සාපේක්ෂව කොලූට එතරම් ලොකු පාඨක  පිරිසක් හිටි බව මේ ලේඛකයා හිතන්නේ නැහැ. ටැබූ ගේ අඩවියේ ඉහත කී පරිදි බුද්ධිමය සංවාදයක් ඇති නොවන්නට, ඇත්ත විවේචන කෙරෙහි ටැබූ පෙන්වූ අධිකාරිවාදී, තක්කඩි සහ  සහ සංවෘත ක්‍රියා පටිපාඨිය ත් හේතු වන්නට ඇති. ඒ අතින් බියොන්ඩ් ද ෆ්රේම් ටැබූට වඩා ප්‍රජාතන්ත්‍රවාදියෙක්. බියොන්ඩ් ද ෆ්රේම් පාඨකයන් තවමත් බහුතරයක් වන්දිභට්ටයන්ට සීමා නොවන්නේ ඒ නිසා විය හැකියි.

මෙයින් කොලූ ගේ ලියමන නැවතුනේ ඇයි දැයි කොලූ වත් හරියට කියන්නේ නැහැ. මේ ලේඛකයා වරක් හෝ දෙවරක් කොලූ සමග සංවාද වලට එලඹී තිබුනා. ලේඛකයාට හිතුනු අන්දමට නම්, මතවාද වල මොන ප්‍රශ්න තිබුනත්, කොලූ අඩු ගනනේ තමා කඩේ යන බටහිරයන්ගේ මතුපිට සංවර කම වත් පුළුවන් තරමින් පවත්වාගෙන යාමට තැත් කළ අයෙක්. අනෙක කොලූ මොන මොහොතක වත් විවාදයක් තගරි වලින්, මාන්නක්කාර කතා වලින් හෝ තක්කඩි පැන යාම් වලින් මග හරිනු ලේඛකයා දැක නැහැ. ජාතිකවාදය ගැන කෙසේ වුවත් කොලූ ගේ අනෙක් සමහරක් අදහස් වලට ලේඛකයා එකඟයි.

ටැබූ සබ්ජෙක්ට්ස් ලේඛක ටැබූ මේ ලේඛකයාගේ විවේචනයට නිතර පාත්‍ර වුනු අයෙක්. ලියූ දැයින් මෙන්ම මතවාදී ප්‍රතිවාදීන් කෙරෙහි මෙන්ම තමාගේම බයාදු ඇම්බැට්ටයන් කෙරෙහි හැසිරුනු ස්වභාවයෙනුත් ටැබූ පෙන්නුවේ අර අන්දමේ හැදියාවක් නොවේ. ඔහු ලේඛකයාගේ විවේචනයට පාත්‍ර වුනේත් මහා පොරක් මෙන් පෙනී සිටියදී භාවිතාවෙන් පෙන්නූ ලුම්පන් හැසිරීම් නිසා. ඒ ගැන මේ බ්ලොග් අඩවියේ අවැසි තරම් සඳහන් වී ඇති නිසා නැවත මතක් කිරීමට ලේඛකයා කරදර වන්නේ නැහැ.

“කුඩු ලාල්” සම්බන්ද සිදුවීම මුළ දී බලන විට ලේඛකයාට සිතුනේ වෙනම දෙයක්. ඔහු සිතුවේ ටැබූ සිය නමින්ම කුඩු ලාල් ගේ ශෛලිය අනුගමණය කළේ හුදෙක් අලංකාරෝක්තිය (rhetoric) සඳහා බවත්, කනිශ්ක දිල්ෂාන් එය වරදවා වටහා ගත් බවත්, නිකරුනේ වුවත් සිද්දිය වැරදියට අර්ථකථනය වීමෙන් ඇති විය හැකි හානිය සලකා ටැබූ ඉතිරි පෝස්ටයන් පළ කළ බවත්. මේ මතයේ ලෙඛකයා දැන් නම් නැහැ. (නැත්තේ, “සිංහල වර්ගවාදීන්” විසින් ටැබූ සබ්ජෙක්ට්ස් “හැක්” කර ඇති බවට නිගමණයකට පැමිණ ඇති නිසා නොවෙයි, වෙනත් හේතු නිසා.) අනුන්ට තමාගේ නමින් කමෙන්ට් කිරීමේ හැකියාව ගැන කතා කළත් ටැබූ මේ වන තෙක් මුල් කමෙන්ටුවේ වගකීම ප්‍රතික්ෂේප කරනවා ලේඛකයා දුටුවේ නැහැ. සමහර විට මග හැරුණා විය හැකියි. නැත්නම්, ඒ නිගමනය සරළව ගම්‍යමාන (implied) බව ටැබූ සිතුවා විය හැකියි. කොහොම වුනත්, බියොන්ඩ් ෆ්රේම් ට හැකියි මේ “ව්‍යාජ” ටැබූ කමෙන්ටුව කළ IP ලිපිනය ප්‍රසිද්ධ කරන්න. අනුන්ගේ අනන්‍යතාවයක් හොරා ගන්නට තැත් කළ හොරෙකුගේ අනන්‍යතාවය පරෙස්සම් කිරීමේ තේරුමක් නැහැ. අනෙක් අතට, අන්ත පක්ෂග්‍රාහියකු වන බියොන්ඩ් ෆ්රේම් මෙතනදී අවංකව ක්‍රියා කරතැයි සිතීමත් නුවනට හුරු නැහැ.

දැන් හැක් කිරීමේ ප්‍රශ්නය.

හැක් කරන්න ඇහැක් ද?

එතරම් උගතුන් නොවන බව පෙනෙන පිස්සා, මොහොමද් හෝ සංඝබෝධි කෙසේ වුවත්, විශ්ව විද්‍යාල අද්‍යාපනයක් ලබා ඇති සහ අන්තර්ජාලයේ පදම් වී ඇති ටැබූ අන්තිම සරළ මුර පදයක් (password) යොදා ගනී යයි සිතුම අමාරුයි. අනෙක, මේ “හැක්” වුනු බව කියන බ්ලොග් අඩවි සියල්ල “හැක්” වී ඇත්තේ සාපේක්ෂව කුඩා කාල පරාසයක් තුලයි. මෙතරම් ලේසියට තම සතුරන්ගේ වෙබ් අඩවි “හැක්” කිරීමට “සිංහල බෞද්ධ ගෝත්‍රවාදීන්ට” හැකියාවක් ඇතැයි සිතීම අනවශ්‍ය ගෞරවයක්. අනෙක, අනෙක් අයගේ කෙසේ වුවත් ටැබූ ගේ බ්ලොග් අඩවියත්, ඊමේල් ගිනුමත් දෙකම හැක් වී ඇති නිසා පෙනෙන්නේ “හැක්” කළවුන් වර්ඩ්ප්‍රෙස් වල දුබලතාවක් (exploit) යොදා ගත්තා විය නොහැකි බවයි. “ආරක්ෂක හේතු” සහ “නිර්නාමිකතාවය ආරක්ෂා කර ගැනීම” ගැන මෙතරම් මොර දෙන ගමන් ම එකම මුර පදය අඩවි දෙකටම භාවිතයට තරම් ටැබූ වුනත් මෝඩයකු වෙතැයි ලේඛකයා සිතන්නේ නෑ.

ලේඛකයාගේ අදහස නම් මේ “හැකිං” සිදුවීම් කිහිපයේ බොහෝ විට එකිනෙකට සෘජු සම්බන්ධයක් නොතිබුනා විය හැකි බවයි.

“අපි” සහ “උන්” තර්ක ඔට්ටු “අපි” ට විතරයි

අන්තර්ජාලයේ “සිංහල බෞද්ධ” මතවාද කතා කරන සියල්ලන් සමගම ලේඛකයාට එකඟතාවක් නැහැ. එහෙම වුනත්, මේ සිද්ධියේදී ටැබූ සහ ඔහුගේ ඇම්බැට්ටයනුත්, ඇතැම් මද්‍යස්ත කියවන්නනුත් “සිංහල / බෞද්ධ” “ගෝත්‍රවාදීන්”ට බැන අඬ ගසන්නේ නිකම් හැක් කිරීම බලන් හිටියා වගෙයි. කිහිප දෙනෙක් උඩ පැනපු පමණින් තමාගේ බ්ලොගය හැක් කිරීමට වගකීම එක කුලකයකට පැවරීම විහිලුවක්. මෙන්න ටැබූ එක තැනක බණ කියන හැටි:

නමුත් සිංහල වර්ගවාදීන්ට ටැබූද එකය. Beyond Frame ද එකය. ඇට මැස්සාද එකය. පුලස්තිද එකය. w3lanka ද එකය. රාමචන්ද්‍රද එකය. මේ අය අතර ඇති දැවැන්ත මතවාදී වෙනස්කම් මොවුනට නොපෙනේ. මන්ද මේ කිසිවකුත් ඔවුන්ගේ ඊනියා සිංහල බෞද්ධත්වයට ඩීසල් ගැසීමට නොයන නිසාය. එනිසා කුඩු ලාල් නමින් ලීවේ ටැබූ බව කියන්ට මොවුනට ඉතා පහසුය. ගෝත්‍රවාදීන්ගේ ලෝකය ඩිජිටල් ලෝකයකි. එක්කෝ ‘අපි’ය. එක්කෝ ‘උන්’ය. එසේ හෙයින් මොවුන් තව ටික දවසකින් ඇනෝනිමසයාගේ බ්ලොග් එක ලීවේද අජිත් පැරකුම් ජයසිංහය කීවොත් අපි පුදුම නොවෙමු.

මේ ‘අපි’ සහ ‘අනෙකා’ ගැන කතාව, X-කණ්ඩායම වගේ අය විසින් ප්‍රචලිත කරනු ලැබ, සාමාන්‍යයෙන් ජාතිකවාදීන්ට එරෙහිව පිළිමලුන් විසින් යොදා ගන්නක්. නමුත් මේ අඩවියේ මීට පෙරත් කතා කර ඇති පරිදි, මෙහෙම cliche නිතර යොදා ගන්න ඊනියා ප්‍රබුද්ධයන්, ඔලුවේ මොනවද ඇතැයි කියන ඉස්සන්ට දෙවැනි නැහැ: නැතිනම්, ඇත්ත භාවිතයෙන් මේ “වර්ගවාදීන්” ට වඩා තමාගෙ කිසිම වෙනසක් නැති බව පෙනෙයි. උදාහරණයක් හැටියට,

මෙහෙම ‘අපි’ සහ ‘උන්’ ගැන කතා කරන ටැබූටත්, ඇම්බැට්ටයන්ටත් පෙනෙන්නේ නැහැ ටැබූ, Beyond the Frame, පුලස්ති සහ w3lanka හි පරා එක අයෙකු අතින් විවේචනය වූයේ නම්, ඒ, අනෙක් වෙනස් මත කෙසේ වෙතක් මොවුන් දරන සමාන මත හේතු කොට ගෙන බව. එහෙම නැති නම් ටැබූ හිතන්නේ එවැනි සාමාන්‍යකරණයක් මහා වැරැද්දක් හැටියටයි. ඒ ටැබූ ම හැබැයි සියළුම අන්දමේ විවේචකයන් එක මිටියට ගෙන “සිංහල වර්ගවාදීන්” හෝ “ගෝත්‍රවාදීන්” ලෙස නම් කර, ඇසින් දුටුවාක් මෙන් වෙබ් අඩවි “හැක්” කිරීමේ චෝදනාවට ඔවුන් වැරදි කරුවන් ද කරන්නේ කිසිම පැකිලීමක් නැතිව.

පසුගිය සති කිහිපය මුළුල්ලේ විවිධ උපක්‍රම මඟින් සිංහල වර්ගවාදීන්ට ඔවුන් සතුරන් සේ සැලැකූ බ්ලොග් පහක් back to back නිහඬ කරන්ට හැකිවී තිබේ. (මේ බ්ලොග් පහ සමාන බවක් හෝ ඒවායේ අන්තර්ගතය සමාන බවක් මින් අදහස් නොවේ. ඒවායේ වූ එකම සමානත්වය ඒ පහම එකම සිංහල වර්ගවාදී කල්ලියක වෛරයට බඳුන් වූ ඒවා වීමයි.) සබැඳිය

මේක හරියට නිකන් “සිංහල වර්ගවාදීන්” කියන එක අර්තකථනය වන්නේ අන් මත යටපත් කිරීම උඩ වගේ. එහෙම නම් ඉතින් ප්‍රභාකරනුත් සිංහල වර්ගවාදියෙක්. වාරණයට විරුද්ධ මිගාර දොස්තර ටැබූ කියන අන්දමට “වර්ගවාදියෙක්” වෙන්න බැහැ.

මේ ‘අප’ සහ ‘අනෙකා’ ගැන පතුරු ගහපු කතාව නම් මතක හැටියට කොලුවාත් නිතරම යොදා ගත් එකක්. ඒ, සිංහල ජාතිකවාදීන් ගැන අති සරළ සාමාන්‍යකරන මතවාදයක සිටිමින් මයි.

තව තැනක ටැබූ කියන්නේ මෙහෙම කතාවක්:

මේ බ්ලොග් පහෙන් හැම එකක්ම, එකින් එක නිහඬ වූ මොහොත මේ වර්ගවාදීන් විසින් තම වර්ගවාදී අඩවියෙහි බ්ලොග් සටහනක් යොදා ම්ලේච්ඡයින් සතුරු ගමකට ප්‍රහාරයක් එල්ල කළායින් පසුව සතුරන්ගේ හිස් අතැතිව ගිනි මැළය වටා නටා සතුටු වන ආකාරයට සතුටු වී ඇත. සබැඳිය

මෙහෙම නටනවා මේ ලෙඛකයා නම් දුටුවේ නැහැ. ඇතැමෙක් ටැබූ/කුඩු ලාල් සිද්ධිය ගැන කියා සිනා සෙනුත්, ටැබුවා ඒ සිද්ධියෙන් ගැලවීමට “හැක්” කිරීමේ සිධිය යොදා ගත් බවට චෝදනා කරනුත් නම් පෙනුනා. කොහොම වෙතත්, විරුද්ධවාදියෙක් ට කරදරයක් වූ විට සිනහසෙන කිහිප දෙනෙක් හොයා ගන්න බැරිවෙන්නට, සිංහල බ්ලොග් අවකාශය බුදු වී නැහැ. මෙහෙම නම් ඉතින් මර්වින් සිල්වා රූපවාහිණියේදී ගුටි කනු දැක සතුටු වූ සියල්ලන්ම මර්වින් සිල්වාට පහර දුන් අයගේ කල්ලියක විය යුතුයි.

අනෙක, හුදෙක් තමාට විරුද්ධ දේශපාලන මතයක් පුද්ගලිකව දැරූ පමණින් මිගාර දොස්තරයා ගැන වෛද්‍ය සභාවට පැමිනිලි කර පටි ගැලවිය යුතු බව හෝ ඊට සමාන අදහස් ටැබූ පළ කලේ එක වතාවක් නොවේ. මේ, මිගාර දොස්තර, තමාගේ පුද්ගලික මතවාද සිය රාජකාරි දිවියේ තීරණ සමග පටලා ගන්නා බවට කිසිම සාක්කියක් නැති විටදීයි. මිගාර දොස්තර ගැන එහෙව් පුද්ගලික වෛරයක් තිබූ ටැබූ දැන් වයින් වී ඇත්තේ තමාගේ අඩවිය “හැක්” වීම ගැන කිහිප දෙනෙක් හුරේ දැමූ එකටයි!! (රාජකාරි ගැන කතා කරන්නේ නම්, මිගාර දොස්තර ගේ රාජකාරි සදාචාරය ගැන හොයන්න යන ටැබූ, තමාගේ මිතුරකු රාජකාරි බලතල යොදාගෙන ශිෂ්‍යාවක ලිංගිකව සූරා කනු ඇස් පනා පිට දැක දැකත් ඒ පිලිබඳව කළේ කුමක් දැයි අසන්නට වෙනවා) [මිගාර දොස්තරයා මෙම ලේඛකයාට කිසිදු සම්බන්ධයක් නැති බව කිව යුතුය. ]

නැවත ඇරඹුම

කොහොම වෙතත්, උවමනාවක් ඇති නම් බ්ලොග් අඩවිය නැවත පටන් ගන්නට ටැබූට බැරි ඇයි දැයි කියන එක ප්‍රශ්නයක්. එක වරක් හැක් කළ පමණින් ඊලඟ වරත් හැක් කළ හැකි බව කීම මෝඩ කතාවක්.

ඉන්පසු අවදානම (including personal risks) බෙහෙවින් ඉහළ ගොස් ඇති අතර (ඉහත වෛරී කමෙන්ටු කියැවීමෙන් පමණක් ඒ ගැන අවබෝධයක් ඇති කර ගත හැකිය.) ආරක්ෂක පියවර පිණිස අප වැය කළ යුතු කාලයේද වැඩි වීමක් ඇතැයි වේය අපේක්ෂා කළ හැකිය. ඊ-මේල් ගිණුමෙහි සිට අප පටන් ගත යුතුය. එසේම පැරණි, කාටත් මතක තිබුණු ලිපිනය වෙනුවට නව ලිපිනයක් තෝරා එය සින්ඩි වලින් ලබන අනුග්‍රහයක් නැතිව ජනප්‍රිය කරවිය යුතුය.

මේ, සින්ඩි “කිහිළි කරු” අවශ්‍ය දුර්වලයන්ට බවත්, සැබෑ දක්ෂයන්ට සින්ඩි වලින් පලක් නැති බවත් කී ටැබූ ම ද? අනෙක ටැබූ වෙනත් බ්ලොගයක් පටන් ගත්තොත්, එය ප්‍රචාරණයට හෝ “ජනප්‍රිය කරවීමට” අලුතෙන් සින්ඩි අවශ්‍ය නොවන බව සරල සත්‍යයක්.


අනෙක ඊමේල් ලිපිනයක් සහ වර්ඩ්ප්‍රෙස් බ්ලොගයක් යන දෙකම අලුතෙන් හදා ගැනීමට යන්නේ පැය බාගයකටත් අඩු කාලයක්. මේක ටැබූ සතියකට බ්ලොග් අඩවිය වෙනුවෙන් ගත කළ කාලයෙන් දහයෙන් පංගුවක් වත් නොවන්න පුළුවන්.

ඉතින් ටැබූ මේ වැල් වටාරම් තර්ක ගෙනෙමින් බ්ලොග් එක නැවත පටන් ගැනීමෙන් මග හරින්නේ ඇයි? මේ කියන කොල්ලන් බල්ලන් දැමූ කමෙන්ටු ඇත්තටම පුද්ගලික තර්ජනයක් ඇති කරන අන්දමේ “වෛරී” කමෙන්ටු හැටියට ගනන් ගන්නා කෙනෙක් බ්ලොග් අඩවිය හැක් වන තුරු ලිවීම නැවැත්වූයේ නැත්තේ මන්ද යන්න ලේඛකයාට නම් ගැටළුවක්. විමල් වීරවංස, මර්වින් සිල්වා වැනි පහසු ඉලක්ක වලට තම පාඨක පිරිසෙන් බහුතරයකට ගැලපෙන කුනු රසින් ලිපි සැපයුවාක් මිසක් කලාතුරකින් මිස ගැඹුරු දේශපාලනයක් කතා නොකළ ටැබූ බලවතෙකු විසින් “තර්ජනයක්” ලෙස සැලකිය හැකි බව මේ ලේඛකයා නම් සිතන්නේ නෑ. මර්වින් සිල්වා අතුරු දැලේ සිදුවීම් ගැන උනන්දු බව වත්, විමල් වීරවංස තම විරුද්ධවාදීන් සොයා මර්දනය කරන බව වත් මෙතෙක් වාර්තා වී නැහැ. කොහොම වෙතත් කොළුවා මෙන් ටැබූ ද පුද්ගලික හේතු උඩ බ්ලොග් ලිවීම නවතන්නේ නම් එය ටැබූ ගේ පුද්ගලික තීරනයක්. බ්ලොග් අඩවි හිතුනු වෙලාවට පටන් ගැනීමේත්, හිතුනු විට නැවතීමේත්, ලිවීමට නොහිතෙන විට නොලියා සිටීමේත් වරදක් ලේඛකයා දකින්නේ නැහැ. ලේඛකයාට නම් සිතෙන්නේ “අසන්නන්ගේ බලවත් ඉල්ලීම පිට” තව ටික දවසකින් ටැබූ බ්ලොග් ලිවීම පටන් ගනු ඇති බවයි.

තිරය පිටු පස

මෙහෙම කතාවක් ඇත්තට වුනා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්:

එක්තරා කතිකාචාර්ය වරයෙක් (H කියමු) තවත් එක්තරා කතිකාවාර්ය වරයෙකු (R කියමු) ගේ ෆේස්බුක් පිටුවක, ටැබූ හැක් කිරීම ගැන ඇතිවන සංවාදයක, “සිංහල ගෝත්‍රවාදීන්” ට අම්ම මෝ නැති වෙන්න බනිනවා හොඳ සුද්ද සිංහලෙන්, ඇඟේ මයිල් කෙලින් වෙන්න. කියවන මිනිස්සුන්ට හිතෙන්නෙ අම්මප මූත් කතිකාචාර්ය කෙනෙක් ද කියල. ටිකකින්, R කමෙන්ට් එකක් දානව, ඒ කමෙන්ට් එක දැම්මෙ H නෙවෙයි, එයාගෙ ෆේස්බුක් ගිනුම හැක් කර ඇති බවයි පෙනෙන්නෙ කියල. මේ කතාව නිකන් අභව්‍යයි වගෙ ද?

මෙහෙම කතාවක් නම් ඇත්තටම වුනා:

දනුන තිලකරත්න නමින්, සරත් ෆොන්සේකා මහත්තයගෙ පටි රෝල් වෙන අන්දමේ මෝඩ කතාවක් හයිකෝප් වෙබ් අඩවියෙ පළ වුනා. ටිකකින් ලංකාටෲත් වෙබ් අඩවිය කියනව, හයිකෝප් වෙබ් අඩවිය “හැක් කර ඇති” බව. මගෙ හිතේ අදටත් එහෙම මයි.

එහෙම බලන් යන කොට “සිංහල වර්ගවාදියොත්” මාර හැකර් ලා!!

Advertisements

Read Full Post »

අනූව දශකයේ මුල හරියේ දේශපාලනය ගැන මතක ඇති අයට අනිවාර්යයෙන් මතක ඇති චරිතයකි රෝහණ කුමාර.

රෝහණ කුමාර පත්තර කාරයෙකි.  කැලෑ පත්තර කාරයෙකු බව කීම වඩා ගැලපෙනු ඇත. (මාතෘකාවට අදාල නැති වුවත්, සටන නැමැති මඩ පත්තරයේ කතෘ වශයෙන් කළ දේ චන්ද්‍රිකාට නොදිරවීමේ හේතුවට පසුව ඔහු ජීවිතයෙන් වන්දි ගෙව්වේය.) ඔහු, ප්‍රේමදාස සමයේ අවරසිකයන් අතර ජනප්‍රිය වූ ත්‍රීශූලේ නම් පත්තරයක් නමින් වූ පඩංගුවේ කතුකම දැරීය.

හොඳට තැලෙන මුව හම

ප්‍රේමදාස සමය, ලංකා ඉතිහාසයේ එතෙක් නොවූ විරූ අන්දමේ මර්දනකාරී යන්ත්‍රයකින් නිරායුධ දේශපාලන විරුද්ධවාදීන්ට පහර දුන්නකි. ඒ තත්ත්වය තුල, ජීවිතයට ආසා ඇති බහුතරයක් පත්තර කාරයන් තමා ලියන කියන දේ ගැන පරෙස්සම් වූහ. ඒ, අති විශාල පිරිසක් තුල ප්‍රේමදාස වෛරය පැසවමින් තිබියදීය. ගොන් කමට තමා දත් උපරිම දේශපාලනය එය වූ නිසාවෙන් හෝ කපටි කමට ප්‍රේමදාස විරෝධයේ වෙලඳ වටිනා කම හඳුනා ගත් නිසාවෙන්, රෝහණ කුමාර ත්‍රිශූලේ “පත්තරය” පටන් ගත්තේය. පත්තරයක් වශයෙන් එහි ඇති ප්‍රවෘත්තිමය හෝ දේශපාලනමය වැදගත් කමක් නොවීය. එය එහෙම පිටින්ම පාහේ වෙන් වූයේ ප්‍රේමදාසට ඇට්ටි හැලෙන්නට හොඳ භාෂාවෙන් බැන වැදීමටයි. ලේඛකයාට මතක ඇති උදාහරණයක් ගන්නේ නම්, මුල පිටුවේ ප්‍රේමදාසගේ සහ බල්ලෙකු ගේ රූප දෙකක් එක කෙලින් ඇත. පින්තූර යටින් පොල් ගෙඩි අකුරින් “ප්‍රේමදාස” “බල්ලා” යන වචන ලියා ඇත්තේ එක වාක්‍යයක් ලෙස කියවෙන ලෙසයි.

මෙබඳු ගොන් පාට් වලින් චූන් වන තකතීරුවන් ගේ අඩුවක් ලංකාවේ නොමැති බැවින්, පත්තරය උනු කවුම් මෙන් විකිණුනි. මෙබඳු “විවේචනය”කින් තමාට වන හානියන් නැති බව දැන ගැනීමට තරම් කයිරාටිකයකු වූ ප්‍රේමදාස, කතු වරයාට අත වත් තැබූවේ නැත. ඉහත කී තකතීරුවන් නම් “ෂහ් නියමෙට දීල තියනව! මේ යකා විතරයි බය නැතුව ලියන්නෙ!!” කියමින් පත්තරය කියවූහ.

මේ සිද්දිය ලේඛකයාට මතක් වූයේ, මර්වින් සිල්වා සම්බන්ධයෙන් බ්ලොග් ඔස්තාද් ඊනියා “උගතෙකු” මෑතකදී සිය බ්ලොග් අඩවියේ ලියූ ලිපියක් දැකීමෙනි. තමා බලා සිටියාක් මෙන් මර්වින් සිල්වා ස්වකීය දියනිය සමග නිදි වදින බවද ඇතුළු තමාගේ රසඥතාවයට සහ පරිකල්පනයට සරිලන කුනු හරුප ඇතුලත් මඩ වගුරක් වන එම ලිපිය ලීමට ආසන්න හේතුවක් බැලූ බැල්මට නම් නැත. ඇතැම් විට  බ්ලොග් අඩවියේ පිවිසුම් වල හුරස් පරස් වීමක් පෙනෙන්නට ඇත. ඊටත් වඩා සිනහවට කාරනය නම්, උගතාගේ විචක්ෂණ භාවයට නිතර හුරේ දමන ප්‍රබුද්ධ පාඨක ගොන්නටද ලිපිය කියවූ බව පෙනෙන්නට තිබෙතත් ලිපියේ කැත සම්බන්ධ විවේචනයක් නැති බව පෙනෙන්නට තිබීමය.

මේ සංසිද්ධිය බ්ලොග් අවකාශයට පමණක් විශේෂ වූවක් නොවේ: තමා රටේ පොදු ජනයාට වඩා ප්‍රබුද්ධ යයි සාමාන්‍යයෙන් සිතා සිටිනා රාවය පාඨකයන් අතර ඉතා ජනප්‍රිය තීරුවක් බව පෙනී යන්නේ විමලනාත් වීරරත්න විසින් රාවයට ලියන මෙබඳුම පල් හෑල්ලකි. මහින්ද ගෑනිට බය බවත්, එක එකා ගේ යට ඇඳුම් හෝ ශරීර අවයව ගැන කෙරෙන ග්‍රාම්‍ය විහිළු වලටත් අමතර දේශපාලනයක් එහිද නැත. කරුණු වශයෙන් නොව රූපක වශයෙන් ද ඒ ලිපි ද මේ උගතා ගේ ලිපි මෙන් ම හර සුන් ය.  එහෙත් විරෝධතාව ‘පන මදි’ බව කියමින් වික්ටර් අයිවන් විවේචනය කරන පාඨකයන් ගෙන් කොටසක් හෝ පාඨක අදහස් කීමට ඇති තීරුවට අතින් වියදම් කරගෙන ලියන්නේ රාවය ගත් විට මුලින්ම පෙරලන්නේ විමලනාත් ගේ කොලම කියවීමට බවයි. මහින්ද ගෑනිට බය බව විහිලුවට කීමෙන් දේශපාලනිකව මහින්දට වන හානියක් නැත; මර්වින් සිල්වා දියනිය සමග නිදියන බව කීමෙන් චූන් විය හැක්කේ වෙනත් කිසිවක් ම කර කියා ගත නොහැකි අන්ත පරාජිත කැනහිලෙකුට පමණි. (හොඳම විහිළුව, මර්වින් ගේ ලිංගිකත්වය ගැන මෙහෙම හිතින් හදා ගත් මඩ ගසන්නේ මල්ලිලා ට නංගිලා වෙන්න කළ උදව් ගැන පුරසාරම් කියන ලිංකික ගැලවුම් කාරයන් ම වීම ය)

පෙර කී ලෙසද කපටි කම මෙවැනි ලිපි වලට හේතුවක් විය හැකි වුවත්, ලේඛකයා සිතන අන්දමට බැටළු රැලක් වැනි පාඨක පිරිසක ගේ ගැලරි චියර් එක ලබා ගැනීම මෙපමන පහසු වී තිබීම මේ තක්කඩින් ගේ කම්මැලි කමට තවත් එක් හේතුවකි. මෙය දේශපාලනයට පමණක් වෙසෙස් වූවක් ද නොවේ. වෙලඳ දැන්වීමක ට වත් සුදුසු නැති හාල් කෑලි නළු නිලියන් වන්නේද, බර වචන දෙක තුනක් කට ගා ගත් හොරු ප්‍රබුද්ධ නිවේදයකන් වන්නේ ද මේ තර්කණය අනුවම ය. අනෙක් අතට, අප කතා කරන උගතා සමහර විට ඇත්තටම විස්වාස කරනු ඇත්තේ තමා සීරියස් දෙයක් කරමින් සිටින බවයි: සමහර විට රෝහණ කුමාර ද සිතා සිටින්නට ඇත්තේ ප්‍රේමදාසට “ගහන්නට” බය නැත්තේ තමා පමණක් බව ය. වරක් සුමනා ගෝමස්ද පුවත්පත් සාකච්ඡාවකදි කියා සිටියේ ලංකාවේ අනෙක් නිළියන් ඇය මෙන් ‘ඇඟ පෙන්වන්න’ හය ඔවුනට තමුන්ට මෙන් ලස්සන ඇඟක් නැති නිසා බවයි!!! මෙය සුමනා කීවේ විහිළුවට ද, එහෙමත් නැත්නම් සදය උපහාසයකින් දැයි ලේඛකයා දන්නේ නැත. කෙසේ වුවත් තමාගේ ජොල් ඇඟ පෙන්වා අර තරම් සෙනගක් අද්දවා ගැනීමෙන් ම පමණක් වුවත් සුමනා ගෝමස් ඔප්පු කළේ එක්කෝ ප්‍රෙක්ෂකයන් ගේ මට්ටම ඒ තරමට ම පිරිහී ඇති බවය; නැතිනම් මට්ටම් පසෙක ලා කාගෙන් හෝ ලැබේ නම් “වලත්ත ආතල් එකක්” ගැනීමට ප්‍රේක්ෂකයන් සූදානම් බවය. දෙවැනි තත්ත්වයේදී හුරේ එක වැඩි වන තරමට තමා ගේ “ජනප්‍රිය භාවය” ගැන සුමනා නම් උදම් වනු ඇත්තේ ප්‍රේක්ෂකයා ගේ ආතල් එකෙහි ඇත්ත මූලය තමා වත් වටහා ගෙන නොවේ.

අනෙක් අතට මේ තක්කඩි සියළුම දෙනා තමා විකුනන්නේ කුමක්ද යන්න පිලිබඳව හොඳ අවබෝධයකින් සිටිනවා විය හැක: ගණිකාවෝ තමා විකුනන්නේ කුමක් දැයි දනිති.

“ඔට්ටු” මඩ සහ “ඔට්ටු නැති” මඩ

ලේඛකයාට නම් මෙබඳු උගතුන් ගැන පුදුමයක් නැත්තේ, බොහොමයක් උගතුන් ගේ හැසිරීම එන්නේ තම තමන්ගේ හීන මානය උඩ වඳින පුදන සමාජයේ වට්ටෝරු තුලින් වීම නිසා ය. මේ ඊනියා උගතාගේ වට්ටෝරුවට මර්වින් සිල්වා සහ විමල් වීරවංස වැටෙන්නේ එක පන්තියකට ය; ලසන්ත වික්‍රමතුංග වැටෙන්නේ තවත් පන්තියකට ය. ඒ නිසා එකම අන්දමේ වැරදි වලට වුවත්, මර්වින් සිල්වාට හෝ වීරවංසට ගැසීමට අහක ඉන්න අම්මලා/බිරින්දෑ වරුන්/දූ වරු යොදා ගැනීමත්, ඒවාට “ජොලි” බව හෝ “ක්‍රියේටිව්” බව කියා හුරේ දැමීමත් “ඔට්ටු ය”. ඉංගිරිසියෙන් කියන්නේ නම් මර්වින් ලා ගේ මවු වරු, දූ වරු, බිරින්දෑ වරු fair game ය.

සමහර විටෙක, මර්වින් කරන දේ වල හැටියට මෙබඳු මඩ ප්‍රහාර සාධාරණ බව කෙනෙක් කිව හැක. හැබැයි, ඇමරිකාවේ වැරදි කල පලියට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුළු අඩු පාඩුවක් වත් නොවිය හැකි බව කියන්නේත් මේ උගතුන් ම ය. ඒ අතින් මේ ප්‍රබුද්ධයන්ට මර්වින් සිල්වා මාර ම වස්තුව කි.  ගමේ ගෑනු කන්න දෙයක් නැති දවසට වත්ත පහලට ගොස් හෙරළි ගෙඩියක් පොලු ගහ ගන්නාක් මෙන්, රාජපක්ෂට ගහන්නට එහෙමට දෙයන් නැති සතියක දී මර්වින් සිල්වා මුව හම අටුවේ සිට එලියට ගෙන තඩි බෑ හැක.

ඇතැම් විට මහින්ද මහ රජ්ජුරුවන් මර්වින් සිල්වා ගේ ගොන් පාට් විලි ලැජ්ජාවක් නැතිව ඉවසා වදාරනවා ඇත්තේ ස්වභාවයෙන්ම ප්‍රේමදාස වැනිම අන්ඩපාලයකු වූ රජ්ජුරුවන් ද මර්වින් වැනි සරල ඉලක්ක වලට පහර දීමේ මෝඩ චූන් එකෙන් තමාට ඇත්තටම එල්ල විය හැකි වඩා හරවත් විරෝධයක් යටපත් කල හැකි බව සිතන නිසා විය හැක. පත්තර වලට කතා කිරීමට දෙයක් දීමට මර්වින් බලා ගන්නා අතර එහෙම දෙයක් නොදෙන විටද අහු මුල්ලකින් හෝ මර්වින් මුව හම එලියට ඇද ගැනීමට ද ප්‍රබුද්ධයෝ සූදානම් ය.

Read Full Post »