Feeds:
Posts
Comments

Posts Tagged ‘විමල් වීරවංස’

විමල් වීරවංස ගේ උපවාස විහිළු රංගනය මේ වන විට හමාර වෙලා.

ගිණි කෙළි වලටද ඇතැම් විට ජොලියට එහා ගිය හේතු ඇත. source: wired.com

කොහොමත් බටහිර කන්සර්වේටිව් හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයකින් ගත්තත් පාරාජිකා වී ඇති බෑන් කී මූන් නැමති රූකඩ චරිතයේ ක්‍රියාව සම්බන්ධයෙන් විරෝධය දැක්විය යුතු බව වෙනම කාරනයක්. මේ සම්බන්ධයෙන් වැඩි දුර ලීමට ලේඛකයාට වුවමනාවක් නැහැ; මේ වන විට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තරම් ලියවී තිබෙනවා; එජාපයත් මූනිච්චාවට හෝ මූන් ගේ ක්‍රියාවට විරුද්ධයි;  වෙන කිරීමට දෙයක් නැති කමට එජාපයම කියන දේ කියමින් හෝ රාජපක්ෂට එරෙහි වීමට සිදුවී ඇති ජවිපෙත් එහෙමයි. (රාමචන්ද්‍ර නම් අඩු ගනනේ ජවිපෙ දේශපාලන ස්ථාවරයට වඩා තරමක් හෝ එලිපිට “ධනපති ආණ්ඩු විරෝධී” උත්සාහයක් දැරීම තුල අඩු ගණනේ ප්‍රායෝගිකව සංගත තැනක ඉන්නවා. මූලධාර්මිකව රාමචන්ද්‍ර පතුරු ගැසීමට හෝ අවශ්‍ය නම් කිසිවකුට පුලුවන් වී ඇත්තේ මේ අවංක කම නිසා;  ලේඛකයා රාමචන්ද්‍රගේ ක්‍රියාව ඒ සම්බන්ධයෙන් අගය කරනව. ජවිපෙට මේ කරුණු හෝ ඒ වචන චන්ද රැස්වීම් වල කීමට බැරි වීම ම ජවිපෙ වර්තමාන දේශපාලන කුහක බවට සාක්කියක්.)

කෙසේ වෙතත්, වීරවංස ගේ සිල්ලර නාටකයෙන් ඇති වූ පලදායී ප්‍රතිඵලයක් නැති බවයි ලේඛකයා ගේ හැඟීම. ඕනෑ දෙයකට වීරවංසගේ මවත්, බිරිඳත්, දරුවන් බැරිනම් කුලය වත් ඇද ගන්නා ඊනියා ලිබරල්වාදී, තමා හරි පොෂ් බව තමා ම සිතා සිටින ගමන් කට ඇරියොත් ගොඩේ කම පෙන්නන පඩංගු උගතෙකු ගේ ලිපි වලට ප්‍රතිචාරයක් දැක්වීමට ඇති වූ පෙළඹවීමද එතරම් විශාල නොවුනේ ඒ නිසා. කෙසේ වෙතත්, මාලින්ද සෙනෙවිරත්න සහ නලින් ද සිල්වා වැනි උදවිය ද විමල් වීරවංස හේදීමට ඉදිරිපත් වීම තුල ,මේ පිලිබඳව ලේඛකයාට ඇති සරල ප්‍රශ්න කිහිපයක් කතා නොකරම බැහැ.

“සුද්දන් අප ගැන වරදවා සිතන නිසා අප මෙසේ මෙසේ නොකළ යුතුය” සිතන ආකාරයේ යූඇන්පී ලිබරල් හීන මානයක් ලේඛකයාට නැහැ. මේ තර්කය සැබෑ නම්, 2005 වන විට රනිල් යුද්ධය ගැන සිටි නපුංසක ස්ථාවරය මේ වන විටත් නිවැරදි වෙන්න ඕනා; මහින්ද රාජපක්ෂ කොටින්ට විරුද්ධව කළ යුද්ධය කිසි දිනෙක නොකළ යුතුව තිබුනා.  පලක් ඇති සුද්දන් රටක් ගැන තීරන ගන්නේ රූපවාහිනී පුවත් බලා නොවේ.  කෙසේ වෙතත්, ජාත්‍යන්තරව තමාගේ ඇති අල්පේශාක්‍ය (insignificant) බව, ප්‍රසිද්දියේ ඩෙඟා නැටීමට ලයිසමක් නොවේ. ඒ අතින්, යකුන් නැටවීමේ, දුම්මල ගැසීමේ, කාර් වලට ගිණි පිඹීමේ මෝඩ වැඩ වල තිබුනේ, රනිල් වික්‍රමසිංහ-රෝසි සේනානායක කල්ලියේ වලං පොලවේ ගසන, හෝන් ගහන උද්ඝෝෂන වල පන්නයේ බලාපොරොත්තු සුන් වූ අර්ථවිරහිත භාවයක්. උද්ඝෝෂනයක් කුමක් වුවත් එයට ඉලක්ක ශ්‍රාවක පන්තියක් (target audience) සිටිය යුතු යි; ඒ පන්තියට විකාරයක් ලෙස පෙනෙන්නට කරන උද්ඝෝෂනයක්, පටන් ගැන්මේදී ම අර්ථ විරහිතයි. සුද්දන්ට බය නොවිය යුතුව තිබුනත්, උද්ඝෝෂකයන් නිකන්ම සිල්ලර විකටයන් ලෙස පෙන්වා දීම ට විරුද්ධවාදීන්ට පහසු කිරීම තකතීරු කමක්.

“කිතුල් ගහක් යට ඉඳන් කිරි බිව්වත් හිතන්නේ රා බොන බවයි” කියා උපමාවක් තියෙන්නේ කට කහනවට නොවෙයි.  උද්ඝෝෂනය දකින අමුත්තෙකුට “මේක නම් පිස්සු විකාරයක්” කියා හිතෙනවා නම් උද්ඝෝෂනයට හේතු වූ ඇත්ත කාරනය මොකක් දැයි හිතන්න පෙළඹෙන්නේ නැහැ. විමල් ගේ උද්ඝෝෂනය තුල තිබූ විකාරරූපී ස්වභාවය උද්ඝෝෂනයටත් වඩා ලොකු වීම නිසා විරුද්ධ වාදීන්ට ඉඩක් ලැබුණා, ප්‍රධාන කරුණ අමතක කොට අර විකාර රූපයෙන් හදා ගත් පඹයකුට ගහන්නට.

විමල් ගේ වගාඩම්බර, නලින් ද සිල්වා මොනවා කීවත් කළ යුතුව තිබූ උද්ඝෝෂනයක තිබිය යුතුව තිබූ ලක්ෂන බව ලේඛකයා නම් හිතන්නේ නැහැ. “බන් කී මූන්, උඹ හිතන ඒව මෙහේ කරන්න හම්බ වෙන්නෙ නෑ” වගේ ගිරිය යටින් කළ කෑ කෝ ගැසීම් ලේඛකයාට මතක් කළේ, ෆොන්සේකා හිරේ දැමීමට එරෙහිව කළ හුදෙකලා ජවිපෙ උද්ඝෝෂනයේදී සෝමවංස අමරසිංහ කළ වියරු කතාව. උපදේශක කමිටුව හකුළා ගත්තොත් මිස ආයේ සක්කරයා ආවත් නොනැගිටින බවට දෙන සහතික, ප්‍රචාරක වශයෙන් වාසි සහගත ඒවා නොවෙයි: විශේෂයෙන්ම දින කිහිපයකින් තමාගේ “මාරාන්තික” උපවාසය අවසන් වන බව තමා ම දන්නවා නම්. ඒ නිසා නලින් ද සිල්වා ගේ “I am sure that Wimal Weerawansa by his fast attracted many young people to the national movement, and we in the movement should be thankful to him at least for that.” වගේ කියමන් වල ඇත්තක් තිබෙනවාද කියන එක ලේඛකයාට නම් සැකයි. ඒ කියන්නේ එතැන පිරී සිටි සෙනග ගැන නම්, වැඩක් නැතුවට සතියේ දවසක ඔහොම දේකට එකතු කරගන්න පුලුවන් උන් නම් යූඇන්පී රැස්වීම් වලටත් එනවා. (මේ ඊනියා ජාතික “ප්‍රබෝධය”, බෞද්ධ “ප්‍රබෝධය” ගැන ජාතිකවාදියකු වුවත් ලේඛකයාට නම් ඇත්තේ, —ලිබරලුන්ට සම්පූර්නයෙන් වෙනස් හේතු මත වුවත්— සංශයවාදී මතයක්. ඒක ගැන වෙනම කතා කළ යුතුයි)

දැන් වුනේ කුමක් ද? බැන් කී-මුන් ට මිස සක්කරයාටවත් නවත්තන්නට බැරි බව කී උපවාසය, අන්තිමට දුව අඬන බව කියා නැවැත්වීමයි. ඒක ලැජ්ජා නැතුව පලිප්පු දමමින් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවේ පත්තර වලින්ම නිසා බොරුය කියන්නත් බැහැ. නලින් ද සිල්වා කියන්නේ මෙහෙම කතාවක්: “These commentators were telling us that everybody knew that Wimal was not going to die and was waiting for the President to come with orange juice or thambili water. I am not sure whether the act of the daughter of Wimal Weerawansa was also in the script as I have not been able to get a copy of it.” මේකෙන් කියන්නේ දුව ගේ ක්‍රියාව දරුවෙක් නිසා කපටි කමින් කළ දෙයක් නොවන බව දැයි පැහැදිලි නැහැ. කොහොම වෙතත්, තමා උපවාසයකින් මැරෙන්න යන විට දුවට දුක සිතෙනු ඇතැයි සිතීමට විමල් වීරවංස නොවෙයි ඕනෑම තාත්තා කෙනෙකුට මොළයක් තිබිය යුතුයි. ඒක නිසා දුවට දුක හිතුනු පලියට උපවාසය නැවැත්වූ බව කීම විහිළුවක්; දුවගේ පනිවිඩය පියාට ගෙන ගිය පියන් වැඩේ කළේ රටේ ජනාධිපති වීම වෙනම කතාවක්.   (අනෙක් අත‍ට, දුව නිසා නොව ජනාධිපති කී නිසා උපවාසය නැවතූ බව කීමත් සිල්ලර විහිළුවක් වන්නේ, විමල් ගෙන් රාජපක්ෂ එහෙම දෙයක් ඉල්ලා සිටීම මොන මොහොතේ හෝ අනිවාර්යයෙන් සිදු වන දෙයක් නිසා. එහෙම නම් විමල් කර ඇත්තේ, උපවාසයට හාන්සි වී, ගලවා ගැනීමට ජනාධිපති මොන වෙලේ හෝ එන තුරු ඔහේ බලාගෙන ඉඳීමයි.)  ඒ නිසා, සිල්වා තුමා කියන විදියට නොමැරෙන බව දැන දැනම උපවාස කළා වුනත්, ඒ කළේ කුමක් හෝ මතවාදයක් තල්ලු කිරීමට වුනත්, ඔයිට වඩා හොඳ තිර රචකයෙකුට වැඩේ බාර දෙන්නට ඉඩ තිබුනා. හරය එකම වීම වෙනම කාරණයක්: “කොහොමත් අපේ ඇඳුම් වලට යටින් ඇත්තේ මේ මේ දේවල් බව ලෝකයම දන්නවා” කියන එක හෙළුවෙන් ඇවිදීමට නිදහසට කාරනයක් නොවෙයි.

ඊනියා “මාරාන්තික උපවාස” කරන්නේ ඇත්තටම මැරෙන්නට නොව යම් කිසි දේශපාලන මතයකට ප්‍රචාරය ලබා ගැනීමට බව, මතුපිටින් විහිළුවක් වුනත් දේශපාලන ලෝකයේ සාමාන්‍ය සත්‍යයක්. පඩංගු උගතුන් මේ ගැන කතා කරන්නේ නිකම් තමා හොයා ගත් රහසක් ගානටයි. අනෙක, වීරවංස හෝ මර්වින් සිල්වා වැන්නෙකුට මඩ ගැසීමට නම් කුල මල, අතීත කතා, පවුල් විත්ති ඔක්කොම අදින්න පුලුවන් මේ උගතුන්ට, අඩු ගනනේ කොටි සංවිධානයේ තිලීපන් ගේ “මාරාන්තික” උපවාසය ස්වේච්චාවෙන් කරන ලද්දක් නොවන බවට  ඇතැමුන් තුල ඇති මතය හෝ සඳහන් කිරීමට හැදියාවක් නැහැ. මරාගෙන  මැරෙන බෝම්බ කරුවන් සිය ගණනක් පසුව ඇති කරගත් ත්‍රස්තවාදී සංවිධානයකට නිකම් ම මැරෙන එක් උපවාස කරුවෙක් වියදම් කිරීම ලොකු දෙයක් නොවන බව මේ උගතා ට පේන්නේ නැහැ. තිලීපන් ගේ උපවාසය ප්‍රභාකරන්ගේ අණ නිසා සිදු වූවක් බවත්, තිලීපන් මිය යාම ඉන්දියන් හමුදාවටත් වඩා වුවමනා උනේ ප්‍රභාකරනට බවත් කියන්නේ ඊනියා සිංහල ජාතිවාදීන් ම පමණක් නොවන බව මේ උගතාගේ විශ්ලේෂක මොළයට නොපෙනුනත්, විමල් වීරවංස වැසිකිලියට ගිහින් “සෙබළුන් සඳහා පිළියෙළ කරන ලද අධිපෝෂණීය චොකලට් බාර්” කෑ හැටි නම් මේ උගතාට බලා හිටියාක් වැනි ප්‍රත්‍යක්ෂ සත්‍යයක්. තවත් ඊනියා විශ්ලේෂකයන් ලෙමන් පෆ් පෙට්ටියක් අල්ලාගෙන කෑ ගැසුවේ නිකම් වීරවංසට කන්නට කඩ වලට දමන අන්දමේ මහා පරිමානයෙන් පැකට් ගනන් ලෙමන් පෆ් අරන් ඇවිත් ඇති ගානටයි. හොරෙන් කන්න උවමනා එකෙක් ඒ වගේ දෙයක් කරාවි දැයි හිතන්න වත් මේ පින්තූර විශ්ලේෂකයන්ට මොළයක් නැහැ — එතකොට නම් විවිධ අන්දමේ දේ ප්‍රවාහනයට එවැනි අපතේ යන පෙට්ටි යොදා ගන්නා බව නොදැනීමට තරම් තොත්ත බබා ලා.

මේ කියන්නේ නිකමට වත් විමල් ඇත්තටම බඩගින්නේ හිටි බව කීමට නොවෙයි. ඇත්තටම කළා වුවත්, පරමාර්ථය සලකන විට ඔතරම් කෙටි කලක් බඩගින්නේ හිඳීම එතරම් අමාරු දෙයක් නොවෙයි. අද බැරි නම් හෙට ශල්‍යකර්මය කරාවි යයි සිතමින්, ඒ නිසා දවසට වේලක් පමණ ආහාරයට ගනිමින් (ඇතැම් විට වෛද්‍යවරයාගේ/හෙදියන්ගේ නොසැලකිල්ල/අත පසුවීම් නිසා නිකරුණේ ද බඩගින්නේ හිඳිමින්) දින ගනන් ගත කරන රෝගීන් කොළඹ ජාතික ආරෝග්‍ය ශාලාවේ ඉන්නවා. හොඳ හයිය හත්තිය ඇති වීරවංසට ඔතරම් ලොකු කරුණක් සහ ප්‍රචාරයක් වෙනුවෙන් දින කිහිපයක් ඉඳීම, තරමක් අමාරු දෙයක් වුවත් මහා විශාල පරිත්‍යාගයක් නොවේ — විශේෂයෙන්ම එයින් ලැබෙන පුද්ගලික දේශපාලන වාසිත් සලකා බැළූ විට. ඒ නිසා “වෙන කවුරුවත් හිටියද” හෝ “උඹට ඉන්න පුළුවන් ද” වගේ සිල්ලර තර්ක වලිනුත් ඒ හැටි පලක් නැහැ.

මේ සංදර්ශනය, අර්ථ විරහිත භාවය දැන දැනම කළා නම්, ඒ සඳහා බලපෑ හේතු මොනවා වන්නට ඇති ද? සමහර විට, යුද්ධයෙන් පසු එන්න එන්නම තමාට තිබූ ප්‍රගතිශීලී භූමිකාවේ සීමාවන් ඇති වී ඇති බව විමල්ට වැටහීම හේතු වුනා වෙන්නට පුළුවන්. තල්ලු ස්ටාට් එක කෙසේ වෙතත් ඇන්ජිම දිවීම පටන් ගත් පසු රාජපක්ෂගේ ධනවාදී රෙජීමයට වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ ජාතික හෙළ උරුමයේ පන්නයේ ධනවාදය නියෝජනය කරන විධායක පැලැන්තියේ ජාතිකවාදීන් බව පෙනී, වාගාලංකාර (rhetorical) දේශපාලනයේ වටිනා කම නැවත ලබා ගැනීමට කළ දෙයක් වීමටත් බැරි නැහැ. (මෙයින් කියන්නේ වාගාලංකාර වලින් දේශපාලනයට කොහෙත්තම වැඩක් නැති බව නොවෙයි. එකඟ නොවන පඩංගු උගත් හු ශේක්ස්පියර් ගේ ජුලියස් සීසර් බැරි නම් චර්චිල් ගේ කතාවක් දෙකක් කියවත්වා) බෑන් කී මූන් කමිටුව කොහොමත් හකුළා ගන්නට යන බවට කළ වැරදි ගනනය කිරීමක් හේතුව වන්නට බැරි කමක් ම නැහැ. අනෙක් අතට, ඉතා දැනුවත්වම,  වේදිකාලෝකය වඩා වැදගත් කරුණු වලින් ඉවතට ඇදීමට ඇමක් වශයෙන් වීමටත් බැරි නැහැ. මේ අන්තිම කරුණ සැබෑ හේතුව නම් පමණක්, සටන සර්වප්‍රකාරයෙන්ම සාර්ථකයි. තැලෙන යකඩය දැක ආචාරියා මොකක් දෝ උඩ දමමින් තලනවා කීවාක් මෙන්, තව තව පඩංගු උගතුන්ට තව තව සති ගනන් වැල් වටාරම් ලිවීමට දැන් පුළුවන්. ශෂී වීරවංස ගේ අම්ම තාත්ත ගැන තවම මොකුත් කීවෙත් නැහැ නොවැ.

Read Full Post »

මේ සටහන විමල් වීරවංස හෝ ලසන්ත වික්‍රමතුංග හැදෑරීමට නොවේ. වීරවංස සහ වික්‍රමතුංග උදව් කරගෙන අනෙක් අය හැදෑරීමටය.

මට අනුව නම් වීරවංසත් වික්‍රමතුංගත් දෙදෙනාගේ භාවිතය අතර ලොකු හරයාත්මක වෙනසක් නැත.

(more…)

Read Full Post »